Friday, May 2, 2025
Home » කලා කටයුතු ප්‍රවර්ධනය වීඑස්එල් (WESL) විදත් මෙවලමෙන් පුළුවන්

කලා කටයුතු ප්‍රවර්ධනය වීඑස්එල් (WESL) විදත් මෙවලමෙන් පුළුවන්

-වීඑස්එල් (WESL) නිර්මාතෘ ජූඩ් අර්ඩ්ලි

by sachintha
May 2, 2025 1:02 am 0 comment

ලොවපුරා සිටින ශ්‍රී ලාංකේය කලාකරුවන්, ව්‍යාපාරිකයන් සහ ක්‍රියාකාරීන් අතර සහසම්බන්ධතාව ඇති කරන ලෝකයේ පළමුවැනි විද්‍යුත් මෙවලම වීඑස්එල් (WESL) නමින් යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයකු වන ජූඩ් අර්ඩ්ලි මහතා විසින් නිර්මාණය කර තිබේ. ඒ පිළිබඳ ජූඩ් මහතා සමඟ කළ පිළිසඳරක් ඇසුරිනි.

වීඑස්එල් (WESL) මෙවලම භාවිතයෙන් ශ්‍රී ලාංකිකයකුට හෝ විදෙස් ජාතිකයකුට ඒ ඒ රටවල ඇති ලාංකිකයන්ගේ සියලු විස්තර දැනගත හැකියි. දැන් ඕනෑම කෙනෙකුට පුළුවන් තමන් යන රටේමත් නැත්නම් නගරේ ලාංකිකයෝ කරන ව්‍යාපාර මොනවද, ඒවයෙන් උදව් ලබාගන්නේ කොහොමද කියලා දැනගන්න. ඊළඟට රටකින් රටකට යනවා නම්, ආරක්ෂා සහිතව ඉන්න පුළුවන් තැනක් හොයාගන්නේ කොහොමද, ටිකට්පතක් ලබාගන්නේ කොහොමද මේ සියල්ල සොයාගත හැකියි.

අපේ රටේ කලාකරුවෝ සහභාගි වන සංදර්ශන මොනවාද ආදී ඕනෑම දෙයක් දැනගත හැකියි. මෙවලම හරහා සිංහල රේඩියෝවක් ක්‍රියාත්මකයි. ඒ වගේම ඉදිරියේදී හොඳ ටෙලි නාට්‍යයක් සහ සිංහල චිත්‍රපටයක් රස විඳීමේ හැකියාවත් ලැබෙනවා.

මම ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් ඉපැයූ මුදල් ශ්‍රී ලංකාවට එවීම ව්‍යාපාරයක් ලෙස කළා. මුලින්ම ඉතාලියත් පසුව මුළු යුරෝපයටත් මගේ ව්‍යාපාරය විසිරී ගියා. මේ ව්‍යාපාරයේදී යුරෝපය පුරා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට යන්නට මට සිදු වුණා. විදේශයන්හි ව්‍යාපාරය, රැකියාව, අධ්‍යාපනය සහ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් අතර සබඳතාවන් පැවැත්වීමට පාලමක් අවශ්‍යයි කියා එහිදී මට තේරුම් ගියා. මේ නිසා විදෙස් රටවල සේවය කරන අපේ ශ්‍රී ලාංකිකයන් ලෝකය සමඟ සම්බන්ධ කිරීමේ පාලමක් ලෙස වීඑස්එල් (WESL) නැතිනම් ‘අපි ශ්‍රී ලංකා’ විද්‍යුත් මෙවලම ආරම්භ කළා.

ම‌ගේ උසස් අධ්‍යාපනයෙන් පසුව පරිගණක ගුරුවරයෙක් ලෙස සේවය කළා. පසුව මා ඉතාලියේ රැකියාවක් සඳහා පිටත්ව ගියා. ඉතාලි භාෂාව හොඳින් ඉගෙන ගත් පසුව ඉතාලියේ සිසු සිසුවියන්ටත් පරිගණක විෂයය ඉගන්වීම කළා. ඒ අතර මගේ තොරතුරු තාක්ෂණ දැනුමත් පුළුල් වුණා. අපේ රටට මුදල් එවන්න ඒ කාලෙදී හරි ක්‍රමයක් තිබුණේ නැහැ. උණ්ඩියල් ක්‍රමයටයි මුදල් එවීම සිදු කළේ.

මම මේ සඳහා බැංකු සමඟ එකතුවෙලා මුදල් එවීමේ ක්‍රමයක් ආරම්භ කළා. මේ සේවාව සිදු කිරීමේදී මම තේරුම් ගත්තා අපේ රට සහ විදෙස් රටවල සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධතා පවත්වන්න පාලමක් අවශ්‍ය බව. ශ්‍රී ලාංකිකයෙක් වෙනත් රටකට ගියාම අතරමංවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ රටවල අපේ අය සිටියත් අලුත් කෙනකුට සොයාගන්න බැහැ. ඒවගේම ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යාපාර, වෙළෙඳසල්, සමාජ මේවගේ දේවල් තිබුණත් ඒ පිළිබඳ දැනුම්වත් වන්න ක්‍රමයක් තිබුණේ නැහැ.

වීඑස්එල් විද්‍යුත් මෙවලම විශේෂයෙන්ම ජංගම දුරකතන මෙවලම හරහා විදෙස්ගත ශ්‍රී ලාංකියන්ට මෙරට සිටින අයත්, විදේශිකයන්ටත් එකට එක්වීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මෙරට සිටින කලාකරුවන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට කලා කටයුතු, සංගීත සන්දර්ශන සංවිධානය වගේ දේවල් මේ මෙවලමින් සිදු කළ හැකියි.

ගූගල් මඟින් සෙවුම් කරලා, අපිට අවශ්‍ය දේවල් සොයාගත හැකියි නේද කියලා කෙනකුට සිතෙන්නට පුළුවන්. ඒත්, උදාහරණයක් විදියට අපිට ශ්‍රී ලාංකේය ආපණශාලාවක් සොයා ගැනීමට අවශ්‍යව ගූගල් සෙවුම් කළොත් ඉන්දියාව, පකිස්තානය වැනි ආපණශාලාවක් සොයා දිය හැකියි. මොකද අපේ ආහාර ඔවුන් විකිණීම කරනවා. වීඑස්එල් මෙවලම තුළට ඇතුළත් වන්න නම් ශ්‍රී ලාංකිකයකුම විය යුතුයි. ඒවගේම අපි ලියාපදිංචි කරගන්නේ විශ්වාසවන්ත ආයතන පමණයි.

අද වන විට වීඑස්එල් මෙවලම සඳහා මිලියනයකට අධික පිරිසක් එකතුවෙලා සිටිනවා. ඔවුන්ගේ කුසලතා මෙන්ම දක්ෂතා එළිදක්වන්නට පටන්ගෙන තිබෙනවා. දැනට ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයෝ දාහකට අධික ප්‍රමාණයක් ලියාපදිංචිව සිටිනවා. මෙවලම සඳහා එක්වීමට ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහ අවංකව සිදු කරන නීත්‍යානුකූල වෙළෙඳ ගනුදෙනු ඉදිරිපත් කරමින් සිටිනවා.

මේ තුළින් අපේ රටට ඩොලර් ඉපයීමේ හැකියාව තිබෙනවා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට පිටරට සිටින ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කිරීමටත් පුළුවන්. කලාකරුවන්ට සංගීත ප්‍රසංග හා වෙනත් කලා කටයුතු ප්‍රවර්ධනය කරගන්න වගේම සම්බන්ධීකරණ කටයුතුකළ හැකියි. මෙවලම හරහා දැන්වීම් පළ කළ හැකි අතර මුදල් අය කරන්නේ නැහැ. ඒ වගේම විවිධ තොරතුරු මෙවලමට ඇතුළත් කරන කිසිවෙකුගෙන් මුදල් අය කරන්නේ නැහැ. ඒ සියල්ලම නොමිලේ ලැබෙනවා. විදෙස්ගතව විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන දක්ෂතා ඇති අය හඳුනාගැනීමට අපේ රජයටත් හැකියාව ලැබෙනවා.”

ඉරෝෂා දීපානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT