Home » කලාවට පෑයූ පුංචි සිධංගනා

කලාවට පෑයූ පුංචි සිධංගනා

by sachintha
May 2, 2025 1:12 am 0 comment

මේ 2022 වසරේ ස්වර්ණවාහිනී සිඟිති අවුරුදු කුමාරියයි. 2023 Beauty Modeln ද, 2024 වර්ෂයේ රයිගම් ටෙලි සම්මානයත්, 2025 Music video රංගනයෙන් ඈ මැස්සා, සසර සෙවනැලි, දුරුතු මන්දාරම, හේල්‍යන්, ටෙලි නාට්‍ය, ඒකාංගික හා පෝය නාට්‍ය, වාර්තා වැඩසටහන් මෙන්ම වෙළෙඳ දැන්වීම් ගණනාවක, ප්‍රධාන භූමිකා නිරූපණය කළාය. මේ දිනවල විකාශනය වෙන නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ ජිත්මි ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ඇය කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ තුන වසරේ අධ්‍යාපනය ලබන සිධංගනා කුරේ දියණිය සමඟ කළ කතාබහයි මේ.

සිධංගනා කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද ?

මම ගෙදරදී ලැබෙන සෑම මොහොතකම රූපවාහිනිය නරඹනවා. රූපවාහිනියේ යන විවිධ වැඩසටහන් සහ චිත්‍රපට, නාට්‍ය බලලා මටත් ආසාවක් හිතුණා, කවදා හරි රඟපාන්න ලැබෙනවා නම් කොච්චර හොඳයිද කියලා. මම අක්කයි, අයියයි එක්ක ගෙදරදි රඟපාන්න පටන් ගත්තා. ගෙදර පසුබිම නිසා තමයි මට නාට්‍යය කලාවට යොමු වෙන්නට ඉඩ ලැබුණේ. ඊට පස්සේ දවසක් සිරස රූපවාහිනියට අක්කගේ වැඩකට අම්මත් එක්ක මමත් ගියා. ඒ ගියපු දවසක මට අවුරුදු නැකැත් සීට්ටුවේ වෙළඳ දැන්වීමකට පෙනී සිටින්නට අවස්ථාව ලැබුණා. ඒ වෙළෙඳ දැන්වීමෙන් පස්සේ මට වෙළෙද දැන්වීම් ගොඩක් කරන්නට අවස්ථාව උදාවුණා. ලයිෆ් බෝයි, සතොස, මංචි, විජය තේ, නිව්ඩෙල්, එච්. එන්. බී, කොමර්ෂල්, සම්පත් යන බැංකුවල වෙළඳ දැන්වීම් සමඟ මම කලා ක්ෂේත්‍රයට මුලින්ම අවතීරණය වුණා.

2022 වර්ෂයේ ඔබේ ගමන් මඟ වෙනත් දිශාවකට හැරෙව්වා නේද ?

මගේ අම්මගේ හා අක්කගේ තිබුණු හීනයක් මම ඉෂ්ට කළා. ස්වර්ණවාහිනී නාලිකාවෙන් පවත්වනු ලැබූ සිඟිති අවුරුදු කුමාරී තරගයට අක්කා මංං වෙනුවෙන් ඇප්ලයි කරා. තරගය සඳහා වට පහක් විතර තියලා තමයි අවසාන දොළොස් දෙනා තෝරා ගත්තේ. දොළොස් දෙනාගේ වටේට ආවට පස්සේ තමයි අපි සියලු දෙනාම සජීවී තරගයට සහභාගි කරගත්තේ. සහන් රංවල සර් තමයි අපිට නැටුම් පුරුදු කළේ. ඒ කාලය තුළ මම හරිම විනෝදයෙන් කාලයගත කළා. අවසාන මහා තරගයේදී මම අවුරුදු කුමාරිය වුණා.

පාසලෙන් ඔබේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද ?

පාසලේ මම ඇරොබික් ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරත වෙනවා. ඊට අමතරව මම නාට්‍යවලට සහ නර්තනය හදාරනවා. ඒ වගේම පාසලේ සෞන්දර්ය හැම කටයුත්තකටම සහ පාසල වෙනුවෙන් කරන අනිත් සියලුම කටයුතු සඳහා මගේ සහයෝගය ලබා දෙනවා. ඒත් තරඟ අංශ නියෝජනය කරන පාසලේ ප්‍රධාන පෙළේ නාට්‍යවලට මේ වෙනකම් මම සම්බන්ධ වෙලා නැහැ. ඒ සඳහා අවස්ථාවක් ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා. පාසල් වේදිකාවට මම හරිම කැමැතියි. පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය මට ගොඩක්ම උදව් කරනවා. ඒ සියලු දෙනාගේ ආශිර්වාදය මැද අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් කලා කටයුතුවල නිරත වෙනවා.

2024 වර්ෂයේ රයිගම් ටෙලි

සම්මානයක් හිමි වුණා නේද ?

හේල්‍යන් ටෙලි නාට්‍යයේ පිංකිගේ

චරිතය වෙනුවෙන් 2024 රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ජූරියේ විශේෂ සම්මානයක් හිමිවුණා. මගේ පළමුවෙනි සම්මානය වෙන්නේ රයිගම් සම්මානයයි.

රයිගම් සම්මානය ලැබීමෙන් පස්සේ සිනමාපටයකට අවස්ථාව ලැබුණා නේද ?

මේ සිනමාපටය නම අත්පුඩි. සිනමා පටයේ ප්‍රධාන චරිතය ලෙස සින්දු බබා ලෙස හා චූටික්කී ලෙසයි සිනමාපටයේ රඟපාන්නේ. මේ සිනමාපටයේ බන්දු සමරසිංහ, රොඩ්නි වර්ණකුල මාමලා සමඟ තාරුකා වන්නිආරච්චි නැන්දා, දේශානි අක්කි හා තව ගොඩක් දෙනෙක් මමත් සමඟ රඟපානවා. කොළඹ අවට සහ බණ්ඩාරගම තමයි රූපගත කිරීම් සියල්ල සිදු කළේ.

කලා ක්ෂේත්‍රය ඉන්න ප්‍රවිණ නැන්දලා මාමලාගෙන් ලැබෙන සහායෝගය කොහොමද ?

මට කිසි දෙයක් ගැන කිසිම අවබෝධයක් මුලදී තිබුණේ නෑ. මාමලා, නැන්දලා මගේ චරිතයට අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන්නා. ඉඩකඩ ලැබෙන සැම මොහොතකම රංගනය පිළිබඳව අලුතින් යම් යම් කියා දුන්නා. මම කරපු හැම චරිතයකටම මාව ඇගයීමට ඔවුන් ලක් කලා. බන්දු සමරසිංහ, කමල් දේශප්‍රිය මාමලාගෙන් ගොඩක් දෙවල් අහාගෙන ඉගෙන ගත්තා. රඟපානවා වගේම අධ්‍යාපන කටයුතු මඟ හැරගන්න එපා හොඳට ඉගෙන ගත්තොත් මේ ඔයා කැමති හැම චරිතයක්ම ලැබෙයි කියලා මට හැමදාම කියාදුන්නා. ඒවා මගේ ජිවිතයට ගොඩක් වටිනවා.

පවුලෙන් ලැබෙන සහායෝගය කොහොමද ?

මට අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි, ඉන්නේ. ඒ හතරදෙනා මගේ කලා කටයුතුවලට ගොඩක් උදව් කරනවා. ඒත් වැඩියෙන්ම මට උදව් කරන්නේ අම්මා තමයි. මේ වෙනකම් මම කලා කටයුත්තකට කිසිදාක අම්මා සහ අක්කා සමඟ ඇරෙන්න ගිහිල්ලා නැහැ. අම්මා රැයක් දහවලක් බලන් නැතුව මම වෙනුවෙන් කාලය කැප කරලා රඟපාලා ඉවර වෙලා එනකන් පැත්තකට වෙලා බලන් ඉන්නවා ගෙදර එක්කරන් එන්න.

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT