‘මහල්ලන් නව යොවුන් වී පුනර්ජීවනය වීම’ මේ දිනවල අප නරඹන චිත්‍රපට කිහිපයකම පොදු තේමාව වීම විශේෂයකි. ඒ එක් චිත්‍රපටයක නම ‘සික්ස්ටි නයින්’ ය. අනෙක ‘බේබි ගර්ල්’ වේ. ‘සික්ස්ටි නයින්’ ඉංග්‍රීසි නාමකරණයක් වුවද සිංහල භාෂිත ශ්‍රී ලාංකික චිත්‍රපටයකි. ශ්‍රී ලාංකික දුබල චිත්‍රපටයකි. එහි නම අශිෂ්ට ව්‍යංගාර්ථ දනවමින් තිරිහන් වීමට කැමැති ප්‍රේක්ෂකයාගේ හැඟීම් කලතවයි. ‘සික්ස්ටි නයින්’ යනු ලිංගික ක්‍රියාකාරකමක් ඉඟි කරමින් තබන ලද නමක් බව හැඟෙන්නේ චිත්‍රපටය නරඹද්දීය.
‘බේබි ගර්ල්’ ඉංග්‍රීසි භාෂිත අමෙරිකානු චිත්‍රපටයකි. එය සිනමාත්මක විශිෂ්ට සිනමා කෘතියකි.
තවත් අපූර්ව සිනමා ප්‍රවේශයක් වන ‘නෙළුම් කුලුන’ චිත්රපටයෙහි එන අභාවප්‍රාප්ත මහලු පියාගේ ප්‍රාණවත් ලිඟුවද මෙම වාජීකරණ මාතෘකාව තුළම වැඩිදුර විභාගයට ගත හැකි ගැඹුරු සිරස්තලයකි. නමුත් අශිෂ්ට බොර දියට සුභාවිත පෑදී දිය එක් කළ යුතු නැත. ඇවිස්සුණු හැඟීම් කුපිත කළ යුතු නැත.
‘තිරිහන් වෙන්න නම් ආදරය කරන්න’ යනු ‘සික්ස්ටි නයින්’ චිත්‍රපටයේ තේමා පාඨයයි. මහල්ලන් නැවත තරුණභාවයට පත් කරවීම හෙවත් තිරිහන්වීම (rejuvenate) සිනමාශ්වාදයටත් වඩා අන් වින්දනයන්ට ප්‍රිය ජ්‍යෙෂ්ඨ හා ප්රතියෞවන සිනමා ක්‍රියාකාරීන් බහුලව භාවිතයට ගෙන ඇති මාතෘකාවකි. සෞම්‍ය ධාතු ශක්තිය වර්ධනය කිරීමට සිනමාව යොදා ගත හැකිදැයි බැලීම සිනමාව නොවේ.
ශ්‍රී ලංකික සිනමාවට එකතුවන නවතම සිනමාකාරිය වින්ද්‍යා හරිස්පත්තුවයි. ඇය පාසල් අවධියෙහි නාට්‍ය පිටපත් රචිකාවක ලෙස හා රංගන ශිල්පිනියක ලෙස කටයුතු කර ඇති බව මාධ්‍යකරුවෝ වාර්තා කරති. ඇය පාසලේදි කලාව පිළිබඳව ලද අවබෝධය කෙතරම්දැයි ඇගේ මේ පළමු චිත්‍රපටය වන ‘සික්ස්ටි නයින්‘ දෙස බලා සිටියදී අපට හැඟෙයි. මෙරට සිනමාහල්වල ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනය ඇරඹූ ‘සික්ස්ටි නයින්’ චිත්‍රපටයට පෙර මෙම සිනමාකාරිය ලෝ සුපතළ කෑන්ස් සිනමා උලෙළ නියෝජනය කළ බවද මාධ්‍ය වාර්තා කරයි. ඒ An Anatomist (2020) හා Let Him Sleep යන චිත්‍රපට දෙක බව මාධ්‍ය හෙළි කරයි. මෙම මාධ්‍ය වාර්තා නිවැරදි නම් වින්ද්‍යා හරිස්පත්තුව යනු ලෙස්ටර්, සුමිත්‍රා, විමුක්ති, ප්‍රසන්න වැනි ලෝකයට ගිය මේ දූපත්වාසී සිනමාවේදීන් සමඟ සමව තැබිය හැකිය. නමුත් ‘සික්ස්ටි නයින්’ චිත්‍රපටය වඩාත් ළං වන්නේ වාජීකරණයට මිස සිනමාකරණයට නොවේ. මෙම සිනමාකාරිය සැබවින්ම කෑන්ස් සිනමා උලෙළ නියෝජනය කළා නම් එක්කෝ මෙය ඇගේ චිත්‍රපටයක් නොවේ. නැතහොත් මෙය චිත්‍රපටයක් නොව වාජීකරණ බෙහෙතකි.
මහල්ලන්ගේ පිළියොවුන්කරණය යනු සිනමාවට ගත හැකි ප්‍රබල ඉන්සයිට් එකකි. (insight) එනම් සැඟවුණු සත්‍යය දැකීමේ සූක්ෂ්ම අන්තර් දෘෂ්ටියකි. ඇතුළු නුවණ හෙවත් සැඟවුණු සත්‍යය දැකීමේ සියුම් හැකියාවයි.
තිරිහන්වීම යනු මහල්ලන්ගේ අවයව සක්‍රිය වීමට එහා ගිය අර්ථයකි. භූමිය එසවීමක් වැනි තත්ත්වයන් හේතු කොටගෙන යළි තිරිහන් වී ගලන්නට පටන් ගන්නා පරණ ගංගාව හැඳින්වෙන්නේ රීජුවනේටඩ් රිවර් Rejuvenate River යනුවෙනි. එය පුනර්ජීවන ගංගාවකි. රීජුවනේටඩ් rejuvenate Stream ලෙසද එය ගැඹුරු අර්ථයක් අවධාරණය කරයි. ‘තිරිහන් වී යළි ගලාබස්නා ධාරාව’ හෝ ‘පිළියොවුන් ප්‍රවාහය’ යන ගැඹුරු අර්ථ එහි ඇත. පුද්ගලයකුට, සමාජයකට, රටකට, පක්ෂයකට, පාලකයකුට වුවද පුනර්ජීවන ගංගාවක් විය හැකිය. ආනන්ද අබේසිරිවර්ධන, සුචරිත ගම්ලත්, සිරි ලියනගේ, චාර්ලස් කාටර්, මූර්ති, ගුණපාල මලලසේකර වැනි විද්වතුන්ගේ විවිධ ශබ්ද කෝෂවල ‘තිරිහන්වීම’ යන වචනය විස්තර කර ඇති ආකාර විමසන්නට අප කාලය ගත කරන්නේ දැන් තිරගත වන අතිශය දුර්වල නිර්මාණයක් වන ’සික්ස්ටි නයින්’ නමැති චිත්‍රපට වෙස් ගන්නා කටයුත්ත මොනයම් ආකාරයකින් හෝ වාජීකරණය කොට වින්දනයට ගත හැකිදැයි සලකා බැලීමටය.
මෙහි කතා සංකල්පය නිෂ්පාදක උදාර පල්ලිගුරුගේය. මෙහි පිටපත ලියන්නේ නිෂ්පාදක හා අධ්‍යක්ෂවරිය එක්ව බව ඇය මාධ්‍යයට හෙළි කරයි. සික්ස්ටි නයින් යන නම විවිධ අර්ථ කියැවෙන බව පවසන සිනමාකාරිය ඉන් හැට නව ලක්ෂයේ ජනතාව ගැනද ඉඟි වන බව කියයි. චිත්‍රපටය නරඹද්දී එවන් දේශපාලන ව්‍යංගාර්ථයක් නම් කිසිසේත්ම කියැවෙන්නේ නැත. අඩුම තරමින් පසුගිය වකවානුවේ මහලු දේශපාලකයන් ගණිකාවන් ඇසුරු කරමින් සමාජ මාධ්‍යගත වූ ඕපාදූප දෙසවත් මෙම නිර්මාණකාරිය තම පරිකල්පනය යොමු කර ඇති බවක් මෙහි දැක ගත නොහැකිය. මෙම චිත්‍රපටයට පදනම වී ඇත්තේ ආදරය බවත් 26 හැවිරිදි පෙම්වතියකට ප්‍රේම කරන මෙම 69 වියැති පෙම්වතා අන් අයගේ අවධානය අඩුවීම නිසා මානසිකව කඩා වැටුණු සටන් නළුවෙකි. මෙම මහලු පෙම්වතා ලෙස රඟපානුයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියකු වන ක්ලීටස් මෙන්ඩිස්ය. මෙහි පිටපත ලියද්දීම මෙම චරිතයට ක්ලීටස් මෙන්ඩිස් හිතේ තබාගෙන එය ගොඩනැඟූ බව සිනමාකාරිය කියයි. එබඳු හුදෙකලා මහල්ලකුගේ චරිතය නිරූපණය වෙනුවට ක්ලීටස් මෙන්ඩිස් නමැති සැබෑ රංගන ශිල්පියා දිස්වන තරමට මෙම චිත්‍රපටය දුර්වල මෙහෙයුමකි. ක්ලීටස් මෙන්ඩිස් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාටකයෙහි මනමේ කුමාරයා වූ ප්‍රවීණත්වය හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘පුරන් අප්පු’ චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසි ගරුත්වය පමණක් නොව සිය 47 වසරක සිනමා රංගනයෙහි නියුතු සිය ප්‍රවීණත්වය ‘සික්ස්ටි නයින්’ චිත්‍රපටයේ මහලු පෙම්වතාගේ චරිතය වෙනුවෙන් විනාශ කරගෙන ඇත. මෙය ඔහුගේ දශක පහක දිගු චිත්‍රපට නාමාවලියට තවත් චිත්‍රපටයක නමක් එකතු වීමක් පමණකි. ඔහු සමඟ මෙහි ළාබාල පෙම්වතිය ලෙස රඟපාන දිල්රුපා ෂනාස් නමැති නැඟී එන නිළිය එලෙස නැඟී එන්නට පෙර බැස යා හැක්කේ මෙවැනි චරිතවලට කොටු වීමෙනි. තවත් ප්‍රවීණ රංග ශිල්පියකු වන වික්‍රම සෙනෙවිරත්නද මෙහි රඟපානුයේ ව්‍යාජ ආයාසයකිනි. විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ෂෂී ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර වැනි ටෙලි නළු නිළියන් විශාල තිරයේ ගැඹුරට නොයා සහ ඔවුන්ට හිමි චරිතවල ගැඹුරක් නොමැති නිසා දෘශ්‍යමාන පෙනී සිටීම්වලින් ඔබ්බට නොයා දෙබස් උච්චාරණයෙන් පමණක් තම දායකත්වය සපයයි.
වැඩිමහලු සිතට නැඟෙන නව යෞවන සිතිවිලි තේමා කරගන්නා ‘බේබි ගර්ල්’ චිත්‍රපටය සමඟ සංසන්දනය කරද්දී කෑන්ස් සිනමා උලෙළට ගිය බව පැවසෙන වින්ද්‍යා හරිස්පත්තුවගේ ‘සික්ස්ටි නයින්’ චිත්‍රපටය තුළින් විද්‍යමාන වන්නේ නව යොවුන් පුනර්ජීවනයක් නොව හැට පැන්න සහ කල් ඉකුත් වූ බවකි.
(‘සික්ස්ටි නයින්’ වින්දනය සඳහා අප නිදසුන් ලෙස සඳහන් කළ ‘බේබි ගර්ල්’ හා ‘නෙළුම් කුලුන’ සිනමා කෘති පිළිබඳ විවරණ ලබන කලාපයක මෙහි සටහන් වනු ඇත.)
අජිත් ගලප්පත්ති