නව රජය අනුගමනය කරන යහපාලන පිළිවෙත් යුරෝපා සංගමයේ පැසසුමට ලක්ව තිබේ.
ස්වාධීන කොමිෂන් සභා ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා තිබීම සහ ඒ පිළිබඳව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම ද ඇගයීමට ලක්වන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක වීම අගය කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරෙනෝ මහත්මිය ප්‍රකාශ කරයි.
මෙරට සංචාරයක නිරතව සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේ දී ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.
මේ සාකච්ඡාවේ දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහාය පිළිබඳව ඇමැති විජිත හේරත් මහතා ස්තුතිය පළකළ අතර GSP+ සහනය (සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය) රටේ ආර්ථික දියුණුවට පමණක් නොව දුප්පත්කම තුරන් කිරීමටත් දායක වන බව ද පෙන්වා දුන්නේ ය. නව රජය බලයට පත්වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඒ මහතා නියෝජිත පිරිස දැනුම්වත් කළේය. රටේ වාර්ගික ගැටුම්, ආගමික ගැටුම් වාර්තා නොවන අතර ජාතික සමගිය රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වේ. උතුරු සහ නැඟෙනහිර පළාත් මෙන්ම වතුකරයේ ජනතාවගේ පිළිගැනීම නව රජයට හිමිවීම සුවිශේෂ ලක්ෂණයක්. 2024 මහමැතිවරණයේ දී උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීම රජය ලබා ඇති ජනතා විශ්වාසය පිළිබිඹු කරයි. නව රජය යටතේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ද ගෙන ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
“2024 මහමැතිවරණයට රාජ්‍ය සම්පත් භාවිත නොකිරීම, පසු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීම සුවිශේෂ අවස්ථා වෙයි. ස්වාධීන කොමිෂන් සභාවන්හි ක්‍රියාකාරීත්වයට මැදිහත් නොවී ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩ සලසා තිබීමත් ප්රජාතන්ත්රවාදය සුරැකීමට නිසි කාලසීමාවල මැතිවරණ පැවැත්වීමටත් රජය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
පසුගිය කාලසීමාවේ රජයේ වැඩි අවධානය ආර්ථිකය නැවත නඟාසිටුවීම කෙරෙහි යොමු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අය වැය සාර්ථකව සම්මත කරගැනීම සුවිශේෂ කඩඉමක්.එමෙන්ම විවිධ රාජ්‍යන් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමට හැකිවීමත් නව රජය ලබාගත් සුවිශේෂ ජයග්‍රහණ වෙනවා.රජයේ ප්‍රධාන වැඩපිළිවෙළක් වන වංචාව සහ දූෂණය තුරන් කිරීමට අදාළව පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊට අදාළ අණපනත් කිහිපයක් සම්මත කර තිබෙනවා. පසුගිය කාලවකවානුවල රාජ්‍ය දේපළ අවභාවිත කිරීම්වලට සම්බන්ධ පිරිසට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ කිසිවක් දේශපාලන පළිගැනීම් වන්නේ නැහැ. මීට අමතරව පාතාලය වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ද නීතිය තදින් ක්‍රියාත්මක කර තිබෙනවා. යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම නව රජයට සුබපැතූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගතව රජය ක්‍රියාත්මක වීම පිළිබඳව ප්‍රසාදය පළ කරනවා“යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නව රජය අනුගමනය කරන යහපාලන පිළිවෙත් ද නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක්විය. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා තිබීම සහ ඒ පිළිබඳව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම ද නියෝජිත කණ්ඩායමේ ඇගයීමට ලක් විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක වීම ද පැසසුමට ලක් කළ නියෝජිත පිරිස ඒ සඳහා තාක්ෂණික සහාය අවශ්‍ය වන්නේ නම් එය ලබා දීමටත් සූදානමින් පසුවන බව ප්‍රකාශ කළහ.
GSP+ සහනය ලබාදීමට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වැදගත් සන්ධිස්ථානයක පිහිටීමේ සාධකයත් සලකා බැලෙන බවත් මේ සංචාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කරන වාර්තාව වැදගත් වනු ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි. මීට අමතරව 2028 ජනවාරි වනවිට කම්කරු ගැටලු සහ කම්කරු නීතිවලට අදාළ නව කොන්දේසි මාලාවක් සකස් වීමට නියමිත බැවින් එයට සූදානම් වන ලෙසත් එතෙක් GSP+ සහනය ක්‍රියාත්මක වනු ඇති බවත් නියෝජිත පිරිස විසින් ඇමැතිවරයා දැනුම්වත් කරන ලදි.
යුරෝපා සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරෙනෝ (Carmen Moreno),වෙළෙඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ ජනරාල්,ප්‍රතිපත්ති නිලධාරී ගයිඩෝ ඩොලාරා (Guido Dolara), යුරෝපීය බාහිර ක්‍රියාකාරි සේවයේ ශ්‍රී ලංකා නිලධාරී ගලිජා අගිෂේවා (Galija Agisheva) මහත්ම මහත්මීන්,විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
මහින්ද අලුත්ගෙදර