Friday, May 2, 2025
Home » ගැටලු විසඳීම ගැන කතා කරන්න මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ගැටලු විසඳීම ගැන කතා කරන්න මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

by sachintha
May 2, 2025 1:00 am 0 comment

මුස්ලිම් ප්‍රජාව දීර්ඝකාලීනව මුහුණපාන ගැටලු නව රජය යටතේ විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය 30වැනිදා පැවැත්විණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ලම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ සාකච්ඡාවට මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරීහු 30කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

නව රජයේ ප්‍රතිපත්තිය ජාතික ඒකාබද්ධතාව බවත් කිසිවකුට ජාතීන් අතර භේද ඇති කිරීමට හෝ කිසිම පාර්ශ්වයකින් ජාතිවාදී ක්‍රියා ඉස්මතු වීමට රජය ඉඩ නොතබන බවත් ඇමැති විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළේය. ජාතික ආරක්ෂාව හා සම්බන්ධ කරුණුවල දී ජාති, ආගම් හෝ තරාතිරම නොසලකා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටින බව ද ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය. මුස්ලිම් ප්‍රජාව මුහුණපාන ගැටලු පිළිබඳව රජය සංවේදී බව ද අවධාරණය කළ ඇමැතිවරයා ඕනෑම ප්‍රජාවක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී අදාළ ප්‍රජාවේ ඉල්ලීම් සහ හඬට සවන්දීම රජයේ ප්‍රතිපත්තිය බව ද පැවසීය. පලස්තීන ජනතාව සම්බන්ධයෙන් විපක්ෂයේ සිටිමින් තම දේශපාලන ව්‍යාපාරය කළ මැදිහත්වීමේ කිසිම වෙනසක්, බලයට පැමිණීමෙන් පසු සිදු වී නැති බවත් රාජ්‍ය බලය ලබාගැනීමෙන් පසු රාජතාන්ත්‍රිකව පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් මැදිහත්වී සිටින බවත් ඇමැතිවරයා මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT