Friday, May 2, 2025
Home » මාලිමාවේ ප්‍රතිපත්ති සමඟ අපි කොන්දේසි විරහිතව එක්වෙනවා

මාලිමාවේ ප්‍රතිපත්ති සමඟ අපි කොන්දේසි විරහිතව එක්වෙනවා

-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

by sachintha
May 2, 2025 1:20 am 0 comment

මහජන දේපළ හොරා නොකන දූෂණයෙන් අල්ලසින් තොර සැබෑ මානව හිතවාදී රජයක් යටතේ මීළඟ මැයි දිනය පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට වසරකට පෙර කියූ කතාව ක්‍රියාවක් බවට පත්කර ඇති මොහොතක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපි ජාත්‍යන්තර කම්කරු දිනයේදී මාලිමාවේ ප්‍රතිපත්තිමාලාව සමඟ කොන්දේසි විරහිතව කම්කරුවන් වෙනුවෙන් එක්වන බව පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා මැද කොළඹ පිහිටි පක්ෂ මූලස්ථානයේ ඊයේ (01) පැවැති මැයි දින රැස්වීමට එක් වෙමින් ප්‍රකාශ කළේය.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අපට ඉතා වැදගත්. එය එසේ වන්නේ එය නිමවීමෙන් පසු ලබන 6 වැනිදා අප රටේ පුංචි ඡන්දයක් පැවැත්වෙන නිසයි. මෙවර පුංචි ඡන්දයේදී මාලිමාවේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට අප පක්ෂයක් ලෙස සහයෝගය දෙනවා. එම පණිවිඩය කම්කරු ජනතාව වෙනුවෙන් දැනුම්දීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

ගිය වසරේ මැයි 01 වැනිදායින් පසු රටේ තීරණාත්මක මැතිවරණ දෙකක් පැවැත්වුණා.

පළමුව පැවැත්වුණේ ජනාධිපතිවරණයයි. එය ඉතා විශිෂ්ට ලෙස මාලිමාවේ අපේක්ෂකයා ජය ගත්තා. අප ඒ අවස්ථාවේ අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කළා. ඉන්පසු පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වුණා. එය ජය ගත්තෙත් ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 159ක් මහජනතාව වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා. මුළු මන්ත්‍රී ධුර 225න් 159ක අති බහුතරයක් මාලිමාව දිනුවා. ඉන් පසු රටට ලැබුණු ජයග්‍රහණ රාශියක් තිබෙනවා.

රටට ආර්ථික, සමාජීය, දේශපාලන ජයග්‍රහණ රැසක් අත්කර දුන් වත්මන් ආණ්ඩුව රට වංචාවෙන් දූෂණයෙන් තොරව මනා මූල්‍ය කළමනාකාරිත්වයක් සහිතව නව ලෝකයට ගැළපෙන ආකාරයට සූදානම් කරමින් සිටිනවා. මේ අවස්ථාවේ පුංචි ඡන්දයෙන් ගමේ නගරයේ ජනතාවගේ සංවර්ධන අභිමතාර්ථ ජයග්‍රහණය කරවීමට නම් අනිවාර්යෙන්ම මාලිමාවේ කණ්ඩායම දිනවිය යුතුයි. ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද අප සමස්ත රට වැසියන්ට ඒ සඳහා පෙළගැසෙන්නැයි ආරාධනා කරනවා.

අවුරුදු 76ක් මේ රට පාලනය කළ තට්ටු මාරු ක්‍රමය ඉවත දමා අලුත්ම කණ්ඩායමකට බලය පැවරීමට ජනතාව තීන්දු කළා. ජනතාව ගත් ඒ බුද්ධිමත් තීන්දුව මේ වන විට සාධාරනීයකරණය කරමින් වත්මන් ආණ්ඩුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් නීතිය හා සාමය සුරකින සැමට සමව සලකන පාලනයක් ගොඩනඟා තිබෙනවා. එවන් පාලනයක් ජනතාව බලාපොරොත්තු වූවක්. එම බලාපොරොත්තුව ඉටු කිරීමට වත්මන් ජනපති ඇතුළු ආණ්ඩුව සමත්වී තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේ පුංචි ඡන්දයේදී මාලිමාවේ බලය තහවුරු කිරීම ජනතාවගේ යුතුකමක්.

ආර්ථික වශයෙන් කඩා වැටුණු රට නැවත ගොඩනැඟීම එක රැයින් කළ හැක්කක් නොවේ.

වත්මන් ජනපති ක්‍රමානුකූලව නැතිවී ගිය රාජ්‍ය මූල්‍ය විනය ඇතිකර මනා මූල්‍ය කළමනාකාරිත්වයක් යටතේ රජයේ මුදල් භාවිත කිරීමට පියවර ගෙන තිබෙනවා. රජයේ ආදායම වැඩිකර ගන්නා අතර වියදම් ඉතාම ඵලදායී ලෙස යොදාගනිමින් තිබෙනවා. ඒ ආර්ථික සංවර්ධනයට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ අවස්ථාවේ වෙනත් පාර්ශ්වයක් පුංචි ඡන්දයෙන් බලයට පත්කිරීමෙන් ජනතාවට සුවිසල් බලාපොරොත්තු ඉටුකිරීමක් සිදුවන්නේ නෑ. ඒ මන්ද ජනපතිවරයාත්, පාර්ලිමේන්තුවේ බහුතර බලයත් මාලිමාව සතු නිසා.

මේ අවස්ථාවේ ගමේ බලය ඉතා ඵලදායී ලෙස රටේ දියුණුවට යොදාගැනීමට නම් එහි බලයත් මාලිමාවටම දිය යුතුයි. එය අප මැයි දිනයේදී තරයේ අවධාරණය කර සිටිනවා.

මේ වන විට රටේ ආර්ථිකය යහපත් ආකාරයට ක්‍රමිකව ගොඩනැඟෙමින් තිබෙනවා.

මේ අවස්ථාවේ අප කළ යුත්තේ ඒ සඳහා පක්ෂ පාට භේද අමතක කොට පූර්ණ සහයෝගය ලබා දීමයි. එය ජාතික යුතුකමක්. මෙවර මැයි දිනයේදී අප ඒ සඳහා පෙළ ගැසෙන බව සඳහන් කිරීමට කැමැති යැයි ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT