Home » මැයි දින පෙළපාළියක්වත් තියන්න බැරි තරමට අද විපක්ෂය බංකොලොත් වෙලා
මැයි දින සැමරුම්

මැයි දින පෙළපාළියක්වත් තියන්න බැරි තරමට අද විපක්ෂය බංකොලොත් වෙලා

-නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

by sachintha
May 2, 2025 1:29 am 0 comment

මැයි දින පෙළපාළියක්වත් තියන්න බැරි තරමට විරුද්ධ පක්ෂය බංකොලොත් වී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරනු ලැබූ මැයි දින රැළිය කොළඹ, පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවැත්වුණි.

කම්කරුවන් එක්සත්ව දිනාගත් අයිතිවාසිකම් උදුරා ගැනීමේ අභියෝගය, රැකියා සුරක්‍ෂිත කර ගැනීමේ අභියෝගය, ජීවත්වීමට සරිලන වැටුපක් දිනා ගැනීමේ අවශ්‍යතාව අරමුණු පෙරදැරි කර ගනිමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරනු ලැබූ මැයි දින පෙළපාළිය කොටුව දුම්රියපොළ අසලින් ආරම්භ වී මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය දක්වා ගමන් කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මහතා –

“දිවි පුදමින් සහ විවිධ කැපකිරීම් කරමින් ලෝකයේම කම්කරුවන් එදා පැය අටේ වැඩ දිනය දිනා ගැනීම ඇතුළු අනෙකුත් අයිතිවාසිකම් දිනා ගැනීම සිහි කිරීම අද සිදු කෙරෙනවා. පාරට බැහැලා අද අපි මුහුණදෙන ගැටලු ලෝකයට හඬ නඟා කියන අවස්ථාවයි. මේ වෙනකොට ලෝකයත් එකසිය තිස් නවවැනි වරට ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මුළු ලෝකයම ඉතාමත්ම අමාරු සහ ඉතාමත්ම බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති තත්ත්වයකයි. මේක නිර්මාණය කළ අර්බුදයක්. මේ නිර්මාණය කළ අර්බුදයෙන් ලංකාවටත් ගැලවීමක් නැහැ. හිටිහැටියේ අප්‍රේල් දෙවැනිදා විමුක්ති දිනය කියලා ට්‍රම්ප් මහත්තයා ලෝකයේ සියලුම රටවල්වලට බදු පැනෙව්වා. අපේ රටට සියයට 44ක බදු පැනෙව්වා. ඒ වගේම විවිධ රටවලට බදු පනවලා. චීනය වගේ රටවලට සියයට 145ක බදු පනවලා. ට්‍රම්ප් මහත්තයා බදු පැනවීම සාධාරණීකරණය කර ගැනීමට විවිධ කරුණු ඉදිරිපත් කරමින් කිව්වේ ඒගොල්ලන්ගේ වැය ශීර්ෂය සහ අය ශීර්ෂය අතර බරපතළ පරතරයක් තියනවා කියන එකයි. අනෙකුත් රටවල්වල යහපත සඳහා ඩොලර් ට්‍රිලියන ගාණක් ඒඅය වියදම් කර තියෙනවාලු. ඒ ගාණෙන් ලැබී තියෙන්නෙ තුනෙන් එකයි කියලා ට්‍රම්ප් එදා කිව්වා. අමෙරිකාව ලෝකයේ අනෙක් රටවල් බේරගන්න අනෙක් රටවල් දුගී බවෙන් මුදාගන්න ඩොලර් ට්‍රිලියන ගාණක් වියදම් කර තියෙනවා කියන එකයි කිව්වේ. නමුත් අපි එතුමාට කියනවා ඔය ඩොලර් ට්‍රිලියන ගාණක් වියදම් කර තියෙන්නේ අපි වගේ රටවල්වලට උදව් කරන්න නෙවෙයි. අමෙරිකාව දැන් යුද්ධ කීයක් පවත්වාගෙන යනව ද? යුද්ධ කීයක් ඇති කෙරුව ද? කොයිතරම් අසරණ මිනිසුන්ට බෝම්බ ගහලා මරා දානව ද? ඒවට යන වියදමත් ඕකට ඇතුළත්. කවදාහරි මේ අර්බුදයේ වින්දිතයන් බවට පත්වන්නේ කම්කරුවන්. හාම්පුතුන් ඒකට පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා.

අමෙරිකානු ජනාධිපති බදු පැනවීම මාස තුනකට කල් දැම්මම ලංකාවේ ඇඟලුම් හාම්පුතුන්ට කලින් සියයට දොළහක් ගෙවපු බද්ද සියයට දහයට අඩුවෙලා. සියයට දෙකක ලාභයක් තියෙනවා. දැන් මේකට පොර බදනවා. මේ මාස තුන ඇතුළත ඇනවුම් යවන්න දඟලනවා. සේවකයන්ට වැඩි වැඩියෙන් වැඩ කරන්න බලපෑම් කරනවා. අපි දැක්කා කොග්ගල සේවකයන් 2025 බෝනස් එක ඉල්ලුවාම දුන්නේ බෝනස් භාගයයි. කිව්වේ බදු නිසා දෙන්න බැහැ කියලා.

අපේ ආණ්ඩුව මොකද කරන්නේ. ආණ්ඩුව හිතාගෙන ඉන්නවා රිලව් සංගණනය කළා වගේ මේකත් විසඳන්න පුළුවන් කියලා. ආණ්ඩුවට කිසිසේත් මේ වගේ අර්බුදයක් විසඳනවා තියා මේ රටේ තියෙන සාමාන්‍ය අර්බුදයක්වත් විසඳන්න බැහැ කියන එක ආණ්ඩුව ඔප්පු කර තියෙනවා. ආණ්ඩුවට විතරක් මේකේ විසඳුම් හොයන්න භාර දෙන්න අපි ලෑස්ති නෑ. මේකට විසඳුම් හොයන්න නම් අදාළ පාර්ශ්වයන් සියලු අය සමඟ සාකච්ඡා කර විසඳුම් හොයන්න ඕනෑ. ආණ්ඩුව මොකක්ද කළේ. කමිටුවක් පත්කළා. කවුද කමිටුවේ ඉන්නේ? ආණ්ඩුවේ නිලධාරීන් සහ හාම්පුතුන්ගේ නියෝජිතයෝ. ආණ්ඩුවේ නියෝජිතයෝ මොකක්ද ගිහින් ට්‍රම්ප් මහත්තයාට කිව්වේ. අපි කවුරුත් දන්නේ නැහැ. අපට හොරෙන්, මේ රටේ ජනතාවට හොරෙන් මේකට විසඳුම් හොයන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවානම් ඒක කිසිසේත් වෙන්නේ නැති දෙයක් කියා අපි කියනවා.

ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ඇති මේ රටේ විරුද්ධ පක්ෂත් එක්ක එකතු වෙලා ඒක කරන්න පුළුවන් කියලා. නමුත් අපි දන්නවා විරුද්ධ පක්ෂය ඔක්කොම දැන් නපුංසකයි. විරුද්ධ පක්ෂවලට අනාගතයක් නැහැ. ඒක ඔප්පු වුණා අද මැයි දිනයෙන්. කෝ මේ විරුද්ධ පක්ෂය. කොළඹ කොහෙද පෙළපාළි යන්නේ. පෙළපාළියක්වත් තියන්න බැරි තරමට විරුද්ධ පක්ෂය පත්වෙලා. අපි මේවා විරුද්ධ පක්ෂවලට භාර දෙන්නේ නැහැ. අද මේ ගැටලුවේ වගකීම විසඳුම් සෙවීමේ වගකීම හැකියාව අද අපටයි ලැබී තිබෙන්නේ. මේ රටේ කම්කරු පන්තියට විතරයි මේ අර්බුදයට විසඳුම් හොයන්න පුළුවන්. මේ මැයි දින පෙළපාළියෙන් සහ රැළියෙන් අද ඒක ඔප්පු වෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේ අර්බුදයට විසඳුම් හොයද්දි කිසිම සේවකයකුගේ රැකියාවලට අත තියන්න බැහැ.

ඒක අපේ වෘත්තීය සමිතිවල පූර්වකොන්දේසියක්. ඒ වගේම ආයතන පවත්වාගෙන යන්න අමාරු නම් ආණ්ඩුව මැදිහත්විය යුතුයි. ඒ වගේම අපි හාම්පුතුන්ට කියනවා කොවිඩ් කාලයේ කරපු සෙල්ලම් කරන්න එන්න එපා. කොවිඩ් එක පාවිච්චි කර එක් ලක්ෂ පනස්දහසක් ඇඟලුම් කම්කරුවන් රැකියාවලින් අයින් කෙරුවා. ඒක කරන්න හදන්න එපා. ජී.එස්.පී. සහන ලබා ගත්තෙත් හාම්පුතුන්. ඒවා තවදුරටත් ගන්න ඕනෑනම් වගකිවයුතු සමාගම් හැටියට හැසිරෙන්න ලෑස්ති වෙන්න. අද අපේ මේ වෘත්තීය සමිති සන්ධානයේ සම්මත කරන ප්‍රතිඥාව කොළේට සීමා නොකර ඇති වූ එක්සත්කම අදින් පස්සෙත් පවත්වාගෙන යන්න අපට වගකීමක් තියෙනවා. එම වගකීමෙන් අපි ඉදිරියට ගමන් කරනවා. මේ එක්සත් මැයි දිනයේ අපේ ප්‍රතිඥාව දිනා ගැනීමට පෙළගැසෙමු.”

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සභාපති සිංගලා ත්‍රිෂාන්ති, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල ජයසුන්දර, එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ස්වස්තිකා ආරුලිංගම්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ ලේකම් ලසන්ත ද සිල්වා, ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් ගුරුසිංහ මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නෙරංජලා වික්‍රමසිංහ

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT