ඉතිහාසය පුරාවට රටට ජයග්‍රහණ රැසක් ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් ලෙස නඟාසිටුවීම වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (01) ප්‍රකාශ කළේය.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (01) පැවැති මැයි දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ පදනම ශක්තිමත් කරන බවයි.
මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර එහිදී පක්ෂය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන්ට ප්‍රම්‍රඛතාව දෙමින් පැවැත්වීම විශේෂත්වයකි.
හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය.
ශ්‍රීලනිපයේ මැයි දින රැලිය සංවිධාන කළේ වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මෙතන සිටින වෘත්තීය සමිති නායකයන් කියන්නේ රැල්ලට ගසාගෙන ආපු නායකයන් නොවෙයි. වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳ හසල දැනුමක් ඇති ජාතික ආර්ථිකය පිළිබඳ ගැඹුරු දර්ශනයකින් හා පිරිපුන් වෘත්තීය සමිති නායකයන් පිරිසක් තමයි අපට සිටින්නේ. ඒක තමයි අපට තිබෙන ශක්තිය. ඒක අපේ පක්ෂයට තිබෙන සුවිශේෂී ශක්තියක්. වරාය වෘත්තීය සමිති නායක ප්‍රසන්න කළුතරගේ මහතාගේ කතාව මම අහගෙන හිටියේ ඉතාමත් ආසාවෙන්. එතුමා ඉදිරිපත් කළ ඓතිහාසික කරුණු මෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය ආදිය පිළිබඳ කරුණු අතිශය වැදගත්.
අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ වැඩකරන ජනතාව කෙරෙහි ගැඹුරු දර්ශනයකින් හෙබි රටේ කාලීන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ඇති පිරිසක් සිටීම අතිශය වැදගත්. නමුත් මෙතන යම් අඩුපාඩුවක් තිබෙනවා. ඒ වගේම මෙරට ජනතාවගෙන් සියයට පනස් එකක් කාන්තාවන්. ඒ නිසා අපි කාන්තා නියෝජනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. වෘත්තීය සමිති ව්‍යාපාරයන්ගෙනුත් මම ඉල්ලා සිටිනවා. ලබන වසරේ මැයි දින රැලියේදී කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට. වෘත්තීය සමිති ව්‍යාපාරයේ කාන්තා නියෝජනය වැඩිවිය යුතුයි. වැඩකරන ජනතාව ගත්තත් සියයට හතළිහක් විතර කාන්තාවන්. සමස්ත රාජ්‍ය සේවයේ කාන්තා නියෝජනය සියයට පනස් එකක්. පෞද්ගලික අංශයේ සියයට හතළිහක් විතර වෙනවා. ඒ නිසා කාන්තා දායකත්වය වැඩිකළ යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැයි දිනය අපට අභිමානවත් දිනයක්. මැයි දිනය මෙරට ජනතාවට නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයකු වූ ටී.බී. ඉලංගරත්න මහතා විසින්. විවිධ දේශපාලන පක්ෂ රටේ තිබුණා. නමුත් කවුරුත් ඒ වෙනුවෙන් කටයුතු කළේ නැහැ. නමුත් අපි දේශපාලන පක්ෂයක් ලෙස සමත් වුණා කම්කරුවන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. වැඩකරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් ගෙන තිබෙනවා. වැඩකරන ජනතාව වෙනුවෙන් කැප වූ පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ. අපේ ආණ්ඩුවල අඩුපාඩු තිබෙන්න ඇති. නමුත් මේ රටේ ඉතිහාසය වෙනස් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් වුණා. පසුගිය මැතිවරණවලදී ජනතාව විසින් පණිවිඩයක් ලබාදුන්නා. ඒ පණිවිඩය අපි තේරුම්ගත යුතුයි. ඒ පණිවිඩය අපි තේරුම් නොගෙන තවදුරටත් ගතානුගතික ලෝකයේ ජීවත් වුණොත් අපට වෙන දේ තේරුම් ගන්න බැහැ.
ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ දේශපාලන කුණාටුවලට හසුවී තිබෙනවා. මොකක්ද කැඩුණේ නැති දේශපාලන පක්ෂය. හැම පක්ෂයක්ම දෙකට තුනට කැඩුණා. නැඟිටින්න බැරි තරමට පක්ෂ කැඩුණා. අපට ඉගෙනගතයුතු පාඩම් තිබෙනවා. අපි හැම වෙලාවෙම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ කටයුතු කළ යුතුයි. ජනතාව බලයේ සිටින දේශපාලන පක්ෂ ඉවත් කර වෙනත් කඳවුරක් බලයට ගේන්න හැදුවා. නමුත් මොකක්ද දැන් වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මම හැම වෙලාවෙම කියන්නේ අලුත් තරුණ කණ්ඩායම්වලට අවස්ථාව දිය යුතු බවයි. අපි මේ දේවල් බදාගෙන ඉන්නේ නැතිව අලුත් කණ්ඩායම් සමඟ අපගේ අත්දැකීම් බෙදාගෙන තරුණ කණ්ඩායම්වලට අවස්ථාව ලබාදිය යුතුයි. මේ පළාත් පාලන මැතිවරණයෙන් අපි ශක්තිමත් පදනමක් ඇතිකරගත යුතුයි. එතැන් සිට පක්ෂය ශක්තිමත් කළයුතුයි. පක්ෂය වටා සියලු පිරිස් ඒකරාශි කර අපගේ අභිමානවත් පක්ෂය නැවත වතාවක් ජනතාවගේ හදවත්වල ආදරය දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු ඇමැති මහින්ද අමරවීර මහතා –
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින සැමරුම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට තීරණය කළා. ඒ වගේම මේ මැයි දින සැමරුම වෘත්තීය සමිති නායකයන්ට, වැඩකරන ජනතාවට ප්‍රමුඛතාව ලබාදීමටත් අපි තීරණය කළා. ඒක ඓතිහාසික දිනයක්. වත්මන් ආණ්ඩුව දෙස බැලුවාම මේ අය බලයට පත් වන්නේ කම්කරු නායකයන්ගේ හා වැඩකරන ජනතාව නිසයි. ඒ අයගේ කරමතින් බලයට පත්වුණේ. වත්මන් ආණ්ඩුවට වැඩි දායකත්වයක් දුන්නේ කම්කරු නායකයන් සහ වැඩකරන ජනතාව. වෘත්තීය සමිති නායකයන් ගණනාවක් අද වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුර දරනවා. ඇමැතිවරු,මන්ත්‍රීවරු බවට පත්වෙලා තිබෙනවා. නමුත් පත්වීමෙන් පසු මුලින්ම කරන්නේ මොකක්ද වෘත්තීය සමිති මර්දනය කරන්නේ කොහොමද කියා සොයන එකයි. වෘත්තීය සමිතිවලට, දේශපාලන පක්ෂවලට, දේශපාලකයන්ට අනතුරු අඟවනවා. වැඩිය කතා කරන්න එපා. වැඩිය කතා කරන අය බන්ධනාගාරගත කරනවා කියලා. ඒ වගේම දේශපාලකයන්ගේ කට වහන්න හදනවා . මාධ්‍යෙව්දීන් මර්දනය කරන්න හදනවා. කැබිනට් මාධ්‍ය හමුවට එන මාධ්‍යවේදීන් සීමා කරන එක කවදාකවත් සිදු නොවුණු දේවල්.
මේ යන්නේ කොහාටද.වෘත්තීය සමිති මතින්, වැඩකරන ජනතාව මතින් බලයට ආපු වත්මන් ආණ්ඩුව ඒකාධිපති පාලනයක ස්වරූපයකට කටයුතු කරන්න හදනවා. විපක්ෂය මර්දනය කරන්නේ, විපක්ෂය දෙකඩ කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. ඒ වගේම මේ දේවල් කරන එක වෙනුවට ජනතාවට වුණු පොරොන්දු ඉටුකරන්න.
පොදු ජන එක්සත් පෙරමුණේ නායක, හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා –
මැයි දිනය අයිති වෙන්නේ වැඩ කරන ජනතාවට. අද පළමු වතාවට දේශපාලකයන් පැත්තකට වෙලා කම්කරු දිනය වැඩ කරන ජනතාවට භාරදී මැයි දිනය සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබෙනවා. මම හිතන්නේ එය සුවිශේෂී අවස්ථාවක් කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේම අර්බුද රැසක් මැද. අභියෝග, අර්බුද රැසක් මැද බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ රටට ලබාදුන් ජයග්‍රහණ අතිවිශාලයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකළ වෘත්තීය සමිති නායකයන් සිටිනවා. ඒ අය අතර අලෙවි මවුලානා මහතා සුවිශේෂී කෙනෙක්. එතුමා අද හිටියනම් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරනවා. ජනතාව බොහෝ බලාපොරොත්තු තියාගෙනයි වත්මන් ආණ්ඩුව බලයට ගේන්නේ. නමුත් වත්මන් ආණ්ඩුවට දිගු ගමනක් ඇතැයි මම විශ්වාස කරන්නේ නැහැ. ආර්ථිකය නිවැරදි ලෙස තේරුම් නොගත්, ආර්ථිකය කළමනාකරණය නොකළ ආණ්ඩුවලට දිගුකාලීන පැවැත්මක් තිබුණේ නැහැ. ආර්ථිකය කළමනාකරණය නොකරන රජයක් විසින් ජනතාවට අලුතින් ලබාදෙන දෙයක් නැහැ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම්, සුසිල් ප්‍රේමජයන්ත් මහතා-
1987දී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මැයි දිනය තහනම් කළා. ඒ වෙලාවේ අපේ පක්ෂය මැයි දිනය සැමරුවේ මේ ශාලාවේදී. ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැයි දින සැමරුම මෙතන පවත්වන්නේ දෙවන අවස්ථාවටයි. මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධාන කළ දැවැන්ත රැලි ගණනාවක් පවත්වා තිබෙනවා. ඒ වගේම අපි වරින් වර අත ලකුණින්. පුටුව ලකුණින් තරග කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේ දර්ශනයක් ඇතිවයි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් පක්ෂය ආරම්භ කළා.
පෑගී සිටි, පීඩාවට පත්වූ ජනතාව ඉන් ඔසවා තබන්න කටයුතු කළේ බණ්ඩාරනායක මහතායි. ප්‍රගතිශීලින්ගේ දායකත්වය එතුමාට ලැබුණා.1956දී බණ්ඩාරනායක මහතා බලයට පත් වෙනවා. ඒ වගේම එයින් පසුව වැඩිම වෘත්තීය සමිති අරගලවලට මුහුණ දුන්න නායකයෙක් තමයි බණ්ඩාරනායක මහතා.
ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඓතිහාසික යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. මේ මැයි දිනය සමරන්න. සේවක අර්ථසාධක අරමුදල හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකින්. මැයි දිනය නිවාඩු දිනයක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දැවැන්ත උරුමයක් සහිත පක්ෂයක්. අද පාතාල ඝාතන දැක්කම භීෂණය කියනවා. ඔය මොන භීෂණයක්ද. භීෂණය දැක්කේ අපි. 1988-1989 කාලේ තමයි දැවැන්තම භීෂණය තිබුණේ. ඒ භීෂණයෙන් වැඩිම පීඩාවට පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
අභියෝග රැසක් මැද අද මැයි දිනය ශක්තිමත් ලෙස සංවිධාන කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාට අපි කෘතවේදීත්වය පිරිනමනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ රටට උරුම කළ දේවල් බොහෝයි.
ස්වර්ණා විජේකෝන්
චින්තක කුමාරසිංහ