ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුම මේ දක්වා ලංකාව අනුගමනය කළ නොබැඳි ප්‍රතිපත්තියෙන් ඉවත් කළ යුද ගිවිසුමක් යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් දොස්තර ජී. වීරසිංහ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ හයිඩ් පිටියේ ඊයේ (01) පැවති සමාජවාදී ජනතා පෙරමුණ මැයි දින රැලියට එක්වෙමිනි.
අයි.එම්.එෆ්. බලහත්කාරයට එරෙහි වෙමු, මෝදි අනුර යුද ගිවිසුම ඉරා දමමු, පලස්තීන ජන සංහාරය හෙළාදකිමු මැයෙන් සමාජවාදී ජනතා පෙරමුණ මැයි රැලිය සංවිධාන කර තිබුණි.
සමාජවාදී ජනතා පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා එම පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති කොම්පඤ්ඤවිදියේ ඩී. මෙල් ක්‍රීඩාංගණයේ සිට හයිඩ්පිටිය දක්වා සටන් පාඨ කියමින් පෙළපාළියකින් පැමිණීමෙන් අනතුරුව මැයි රැලිය ආරම්භ විය. මෙහිදී වමේ අපේ මැයි දින යෝජනාව ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් ඉදිරිපත් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දොස්තර ජී. වීරසිංහ මහතා මෙසේද පැවැසීය.
ලෝකයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපවෙමින් අදත් අරගලයේ යෙදෙන, සමාජවාදී ලෝකයක් ගොඩනැඟීමේ සටනේ යෙදෙන කම්කරු ජනතාවට ආචාරය පුද කරනවා.
එදා අපේ වමේ නායකයන් වෙඩි කාගෙන මැයි දිනය සැමරුවා. එදා වගේම දුෂ්කර කොන්දේසි මැද වුණත් අපි අදත් මැයි දිනය සමරනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවක් පත්ව සිටින මේ වෙලාවේ අමෙරිකාව ලෝකයට එරෙහිව වෙළෙඳ යුද්ධයක් ප්‍රකාශ කරලා. 2022 දී විදේශ විනිමය, රාජ්‍ය ආදායම කඩාවැටීම හා ණය අර්බුදයක් ආවා. සමහරු මේ ණය මහ ණයක්ද, අපි පත් වුණාම ලොව පුරා පක්ෂයේ සංවිධානවලට ඩොලර් එවන්න කියනවා වගේ කතා කිව්වා. ණය අර්බුදය ගැන කතා කළේ ඒ තරමට සැහැල්ලුවෙන්. අයි.එම්.එෆ්. කොන්දේසි නැවත සමාලෝචනය කරනවා කිව්වත් ඒ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනියනවා. ඩොලර් මිලියන 54000ක් වුණු ණය දැන් ඩොලර් මිලියන පනස් හත්දහසක්. දේශීය ණය වැඩි වෙලා .මේ තත්ත්වය තුළයි ට්‍රම්ප් බදු පනවන්නේ. 2028 ණය ගෙවන කාලයේදී විදේශ විනිමය ආදායමත් අඩු වෙනවා නම් ණය ගෙවන්නේ කොහොමද? අපට ලේසි වෙන්නේ නැහැ.ඒකයි අයි.එම්.එෆ්. මර උගුලෙන් ලංකාව ගලවාගත යුතුව තිබෙන්නේ. අර්බුදයෙන් ගොඩ එන්න කෙටි පාරවල් නැහැ. ඒ සඳහා නිෂ්පාදන ආර්ථිකයකට රට ගෙන යා යුතුයි. අයි.එම්.එෆ්. පාරේ ගිහින් අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. රනිල් ඉන්දියාව සමඟ සාකච්ඡා කළ පාලම් තෙල් නළවලට විරුද්ධ වූ අනුර කුමාර දිසානායක ජනාධිපති වුණාට පස්සේ මෝදි එක්ක ඒ ගිවිසුම් අත්සන් කළා. ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුම යුද ගිවිසුමක්. මේ දක්වා අනුගමනය කළ නොබැඳි ගිවිසුමෙන් ලංකාව ඉවත් කළ ගිවිසුම මෙයයි.
ඒ වගේම වසර දෙකකට ආසන්න කාලයක් ගාසා තීරයට නිමක් නැතිව බෝම්බ හෙළනවා. ජන සමූල ඝාතන යුද්ධයට අපි විරෝධය දක්වනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අනුව ස්වෛරී පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා, සහයෝගය දක්වනවා.
රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්, තැපැල් විදුලි සේවක සංගමයේ ලේකම් ශාන්ත ප්‍රිය මහතා-
ජාත්‍යන්තරව හා ජාතිකව ඇතිවෙලා තිබෙන තත්ත්වයන් තුළ කම්කරු දිනය එක්ව සැමරීම වටිනවා. අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියේ සමාජ ආර්ථික හැකිළීම හමුවේ මෙරට ඇඟලුම්, තේ, රබර්, පොල් ආදී අපනයනවලට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ හරහා නිෂ්පාදන වියදම අවම කිරීමේ මුහුණුවරින් ව්‍යාපාරික පෙළැන්තිය කම්කරු පන්තිය සූරාකෑමට අවස්ථාව තිබෙනවා. අනෙක් පසින් පලස්තීන සිද්ධිය මුල් කර ගනිමින් ලෝක යුද්ධයකට මුල පුරනවා. න්‍යෂ්ටික අවි සමඟ යුද්ධයක් පෘථිවි තලයට කිසිසේත් දරාගත නොහැකි තත්ත්වයක්.
ණය ගැනීම, අධික බදු බර රාජ්‍ය වියදම් අවම කිරීම ආදී සෑම මුහුණුවරකින්ම සිදු වන්නේ කම්කරු ජනතාව සූරාකෑමකට ලක්වීමයි. රජයේ සේවයට එක්වෙන ඔබේ දරුවන්ට විශ්‍රාම වැටුප අහිමි වෙනවා. ඒ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ දිනාගත් අයිතීන්. රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප නැවත ස්ථාපිත කළ යුතු බව අපි යෝජනා කරනවා. දායකත්ව වැටුප කියන නිර්ණායකය ඉවත් කර විශ්‍රාම වැටුප ජනතාවට දිනා දීම රජයේ යුතුකමක්. ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයාට අවශ්‍යයි. සියලු රාජ්‍ය සේවකයන් හොරු නොවෙයි. හොරු හොරු කියමින් රාජ්‍ය සේවය දිය කිරීමේ කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි. පෞද්ගලක හා රාජ්‍ය රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් අභිමානවත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් අප එක්සත්ව කටයුතු කළ යුතුයි.
ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත රුක්මාල් මහතා-
කම්කරු අයිතීන් එකින් එක උදුරා ගනිමින් ආණ්ඩුව යන්නේ කොහාටද? ආණ්ඩුව ඉන්දියාව අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, කැබිනට්ටුව දන්නේ නැහැ. වත්මන් ජනාධිපති, ජනාධිපති අපේක්ෂක කාලේ වේදිකාවේ කිව්වේ ජනතාවට හංගලා කිසිවක් නොකරන බවයි. ඉන්දියාව ස්වාභාවික සම්පතක් වූ ජලය පාකිස්තානයට මුදාහැරීම එක පෑන් පහරින් නතර කරන්න තීරණය කළා. ලංකාව ගිවිසුම් කළාම වෙන්නේත් ඒකමයි.
රන්මලී සෝමසිරි
ඡායාරූප- රංජිත් අසංක