ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකක් දැන් දිළිඳු ගොඩට වැටී තිබෙන බව මහජන එක්ස්ත පෙරමුණේ නායක, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.
ඒ මහතා මේ බව පැවසුවේ අතුරුගිරිය ජනෝදාන ශාලාවේදී පැවැති මැයි රැලියට ඊයේ (01) එක් වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද පැවසීය.
මැයි දිනය අපේ ශ්‍රේෂ්ඨ දිනවලින් එකක්. අපි කවුරුත් අද කම්කරු ජනතාව සමරනු ලබනවා. මේ ආඩම්බරය අපි භුක්ති විඳින්නේ එය ඉදිරියට ගමන් කරන්නේ කෙසේද. අපි ඒ ගැන කතා කරගත යුතුයි. අවුරුදු 100කට වැඩිය අමෙරිකාවේ චිකාගෝවේ ඇති වූ බිහිසුණු තත්ත්වය නිසා ලේ දහඩිය හෙලලා මේ දිනය ලබා ගත්තේ. අද අපිත් මේ දිනය සමරනවා. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් යෝජනා, විසඳුම්, ක්‍රියාමාර්ග ගන්වා. මේ දේවල් සම්මත කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා ඉදිරි අවුරුදු කිහිපයේ දී මේ දේවල් ඉටු කරගත හැකි ලංකාවක් අපි ඇති කරන්න අවශ්‍යයි. අද අපි පක්ෂ කිහිපයක් එකතු වෙලා ඉන්නවා. අපිට මේ ආණ්ඩුවෙන් අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන්ගේ බැංකුවල තියෙන ඉතිරි කිරීමේ ගිණුමට ඇයි බදු දාන්නේ. මොන ඡන්ද පොරොන්දුවේ ද කිවුවේ විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුමට බදු දානවා කියලා. කිව්වද එහෙම. ජනාධිපතිවරණයේ කිව්වද. මේ අහිංසක අපේ රට අමාරුවෙන් ගොඩගත්ත, ඇදගෙන ආපු අයගේ විශ්‍රාම වැටුපට බදු දැමීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බව මේ සභාවේ අප ප්‍රකාශ කරනවා. කල්පනා කරලා අයින් කරගන්න. විශ්‍රාමිකයන් ලක්ෂ ගණනාවක් එකතු කරපු තැම්පත් මුදල්වලින් ජීවත් වෙනවා. ලැබෙන මුදලින් කඩයක්, ව්‍යාපාරයක් ගෙනියනවා. ඒ ඔක්කොටම තට්ටු කරන්න හදපු මේ විසඳුම ඉවත් කර කරන්න. මේ එක කාරණයක් පමණයි මම කිව්වේ. අනිත් පැත්තෙන් අද මුහුණ දෙන්න අමාරු කාලයක්. ආණ්ඩුවටත් අමාරු බව දන්නවා. ආණ්ඩුව මෙවැනි වැඩ කළොත් කොහොමත් අමාරු වෙයි.
හිටපු නියෝජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි –
කැඩී බිඳී ගිය සියලු දේශපාලන පක්ෂවල කොටස් නැවත එකට එකතුවීමේ අවශ්‍යතාව අප රටේ ජනතාව අද වන විට ඉල්ලා සිටිනවා. අද ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය. එලෙසම ඒවා මහජනතාවට අවශ්‍ය පරිදි වෙනස් කරලා සහන ලබා දෙනවා කියා බලයට පත් ආණ්ඩුව පැවති සියලු ආණ්ඩුවලට වඩා අන්ත ලිබරල්වාදීව හා අන්ත දක්ෂිණාංශිකව විදේශීය රූකඩ බවට පරිවර්තනය වෙලා තියෙනවා. විවිධ අභියෝග රාශියකට මුහුණ දුන් රටක් අපි. අපි රටට විශාල ජයග්‍රහණයක් ලබා දුන් ජාතියක් මහා ජයග්‍රහණ රාශියක් මේ අවුරුදු 76 තුළ අපි ලබා දී තිබෙනවා. හැබැයි අපි අපේ දේශපාලන ව්‍යාපාරය අපේ රටට කවදාවත් වැරද්දක් කරල නෑ. ඒ සතුට අපට තියෙනවා. රටට අහිතකර කිසිදු ගිවිසුමක් අප පාලන නියෝජනය කරන කාලය තුළදී අත්සන් කරලා නෑ. අත්සන් කරන්න ඉඩ දීලාත් නැහැ. කිසිම දවසක රටට හානි කර රටේ ආරක්ෂාවට හානි කර ,මව්බිම පාවාදෙන, දේශද්‍රෝහී ගිවිසුමකට අත්සන් කරන්න අප පාලන කළ කාල සීමාව තුළ අප දී නැත. ප්‍රජාතන්ත්‍රවාදයට හානි කර කිසිදු තීරණයක් අපි අරන් නැහැ. අපි නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර යම් පාලන බලයක් නියෝජනය කරන කාල පරිච්ඡේදය තුළ මේ රටට යමක් ලැබෙන්න තියේ නම් ඒ දේවල් අපි වළක්වන්න ගිහින් නැහැ. අපේ රටේ මිනිස්සු කොරෝනා අර්බුදයෙන් පීඩා විඳින කාලයේ රටට සංචාරකයෝ එන්නේ නැතිව රට ආර්ථික වශයෙන් හානි වෙච්ච කාල පරිච්ඡේදයේ විදේශ රටවල වැඩ කළ සේවකයෝ මේ රටට ගෙන්වන්න එවකට විදේශ ඇමති ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා විශාල නායකත්වයක් දැරුවා. ඒ වේලාවේ අපිට විදේශ හිඟයක් තිබුණා. ඇයි එදා හිටිය අය වැඩ කරන ජනතාවට කිව්වේ විදේශ රටවල ඉඳන් සල්ලි එවන්න එපා කියලා. තමුන්ගේ අම්මලා බඩගින්නේ හිටියා. කිරිපිටි ටික තෙල් ටික ගන්න ඕනෑ මුදල් ටික එවන්න එපා. මේ රටට තුළ ඒ වගේ දේශද්‍රෝහී ප්‍රකාශ සිදු කළා. අද ගෝල්ෆේස් එකේ ලොකු රැස්වීමක් පවත්වනවා.
සමාජවාදී ලංකා කම්කරු සමිතිය, ලංකා කර්මාන්ත හා වෙළෙඳ සේවා සංගමය, සමස්ත ලංකා මෝටර් සේවක සමිතිය, සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතිය, සමස්ත ලංකා සමුපකාර සේවක සමිතිය, රාජ්‍ය සේවා දුම්රිය පොදු සේවක සමිතිය, රජයේ සුවසේවා සංගමය ඇතුළු සහෝදර වෘත්තීය සමිති රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
උදාරා පාරමි
ඡායාරූපය – නිශ්ශංක විජේරත්න