Home » ආක්‍රමණික ජලජ ජීවීන් ගෙනා 3ක් ගුවන්තොටේදී කොටු

ආක්‍රමණික ජලජ ජීවීන් ගෙනා 3ක් ගුවන්තොටේදී කොටු

by sachintha
May 2, 2025 1:54 am 0 comment

ශ්‍රි ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් පිරිසක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ශ්‍රි ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබිය.

වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට එරෙහිව ශ්‍රී ලංකාවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ආනයනය කරන බවට ලද බුද්ධි තොරතුරක් මත ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරුවන් තිදෙනා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් ව්‍යාපාරික කටයුතුවල නිරත කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි .

සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ රතු කන් ඉබ්බන් , ඇළි රතු කන් ඉබ්බන් , රතු වළිග මගුරන් , ඇළි කිඹුල් මත්ස්‍යයන් , විවිධ වර්ග වල ගොළුබෙල්ලන් සහ ඌරෙකුගේ මෙන් නාසයක් ඇති පිග් නෝස් ඉබ්බන් විශාල ප්‍රමාණයක් ද සිටිති .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති රතු කන් ඉබ්බන් වර්ග දෙක , දැනට ලෝකයේ සිටින ආක්‍රමණශීලීම ඉබ්බන් විශේෂයක් බවත් , එසේම රතු වළිග මගුරන් ද , එම මසුන්ට වඩා විශාල මසුන් පවා ඉතා පහසුවෙන් ගිල දැමිය හැකි මත්ස්‍යයන් විශේෂයක් බවත් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

මේ වනවිට මෙම සතුන් අත් අඩංගුවට ගත් රේගු නිලධාරීන් , මේ පිළිබදව මෙම සතුන් රැගෙන ආ ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර , මේ පිළිබද රේගු විමර්ශනයකින් පසුව මෙම ජලජ ජීවීන් තොගය ආපසු තායිලන්තය බලා ප්‍රති අපනයනය කිරීම සදහා භාර දීමට නියමිතය.

කටුනායක – ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT