Friday, May 2, 2025
Home » මහින්ද නිදොස් කොට නිදහස් කිරීමේ අරගලය අපි පටන් ගන්නවා

මහින්ද නිදොස් කොට නිදහස් කිරීමේ අරගලය අපි පටන් ගන්නවා

- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
May 2, 2025 1:09 am 0 comment

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම තම ආදරණීය පියාණන් නිදොස් කොට නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී ඊයේ (01) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි කම්කරු ජනතාවගේ පොදුජන මැයි රැලිය 2025ට එක්වෙමිනි. ‘රැවටිල්ල ඉවසුවා ඇති – දැන් ඉතින් නැඟිටිමු’ යන්න තේමාව කරගනිමින් පැවැති මෙම ජනරැලිය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“තම පෞද්ගලික ජීවිතය තුළ ඒ වෙනුවෙන් සටන් කරනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමේ බලාපොරොත්තුව පෙරදැරිව මැතිවරණය මෙහෙයවනවා. වත්මන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුළම තම පියා නිදොස් කොට නිදහස් කර ගන්නවා.

අද ලෝක කම්කරු දිනය සමරනවා. මේ රටේ වැඩ කරන ජනතාවට ගෞරවයක් වගේම අභිමානයක් ලබාදෙන්න යුගයක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මහතායි. අපි මේ රටේ ශ්‍රම බළකාය කෙරෙහි දැඩි විශ්වාසයක් තිබ්බා. මේ රටේ මහ පොළොවේ පයගසා සිටින අනාගත පරපුරට මේ රට ලෝකයේ ඉහළම රට බවට පරිවර්තනය කරන්න අවශ්‍ය හැකියාව තිබෙනවා. ඒ වගේම අතීතය ගත්තම මහපොළොව සමඟ පොරබදපු අතීත මුතුන් මිත්තන් මේ රට ගොඩනැඟුවා. ඔවුන්ගේ ජානවලින් ගොඩනැඟුණු අපේ අනාගත පරම්පරාවට හරි ප්‍රතිපත්තියක්, නායකත්වයක් සහ දැක්මක් වගේම අනාගතවාදී වැඩපිළිවෙළක් සමඟ අපේ රට ආසියාවේ ආශ්චර්යය බවට නැවත වරක් පරිවර්තනය කරවීමේ හැකියාව තිබෙනවා. අපි වැඩ කරන ජනතාව විශ්වාස කරනවා. මේ රට 2005ට පෙර මුඩුබිමක්. අපි පාන් කන්න පිටරටින් ගෙනාව ජාතියක්. ණයට ගෙනාවේ. මහින්ද රාජපක්ෂ මහතා 2005දී බලයට ගේන විට මේ රටේ ගොවියාට වී කිලෝවකින් ලැබුණේ රුපියල් 8යි. එවැනි ඉතිහාසයක් අපි පරිවර්තනය කර තිබෙනවා. නමුත් අපි විශ්වාස කළා මේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වගා කරන්න ඕනෑ කියලා.

මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම භාණ්ඩයක්ම අපේ රටේ නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා විශ්වාස කරනවා. අපි ලංකාවේ පිහිටීමත් එක්ක ගෝලීය ආර්ථිකයට සේවා සපයන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන්න ඕනෑ. ඒ බලාපොරොත්තු එක්ක තමයි එදා මහින්ද රාජපක්ෂ මහතා වැඩ ආරම්භ කළේ. අපි යුද්ධයත් අවසන් කළා. අපි යුද්ධය අවසන් කළ නිසා තමයි ජනාධිපතිවරයාට පුදුකුඩුඉරිප්පුවලට ගොස් රැස්වීම් පවත්වන්න හැකියාව ලැබී තිබෙන්නේ. ඒ අනුව තමන්ගේ පක්ෂයේ රැස්වීමක් පවත්වලා මහින්ද රාජපක්ෂ මහතාට බණින්න පුළුවන් වී තිබෙනවා. යුද්ධය අවසන් කළා පමණක් නොව, යන්න පාරත් හදා තිබෙනවා. අපි වැඩ කර තිබෙනවා. අපි වැඩ කරන විට ඉවසන්න නොහැකි පිරිසක් සිටියා. පාර හදන විට පාරෙන් සොරකම් කළා කිවුවා. ඇතැම් දේශපාලනඥයන්ට පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ ගනුදෙනු කරන්න නොහැකි වන විට ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ට මඩ ගසන්න, චරිත ඝාතනය කරන්න ඔවුන් උත්සාහ කරනවා. අපිත් ඇතැම් ඒවාට උත්තර දුන්නේ නැහැ. ඇතැම් ඒවාට උත්තර දෙනවාට වඩා අපිට වැඩ තිබෙනවා.

නාමල් රාජපක්ෂගේ චරිතය ආරක්ෂා කරන්න කියලා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබුණා නම් ඒ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. එදා එක් පැත්තකින් පොලීසිය ත්‍රස්තවාදය පරාජය කරන්න කටයුතු කළා. අනෙක් පැත්තෙන් සංවිධානාත්මක අපරාධ මර්දනය කරන්න කටයුතු කළා. අපිට ඒකටත් චෝදනා කළා. අපේ රටට සුදු වෑන් සංස්කෘතියක් ගෙනාවා කියලා අපිට චෝදනා කළා. නමුත් ඒවා දැකපු කෙනෙකුත් නැහැ, කියපු කෙනෙකුත් නැහැ. ඒ තුළ දේශපාලන වශයෙන් අපට පිරිහෙන තැනට කටයුතු කරන්න මේ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. විපක්ෂයේ සිටින කාලයේ, අද අසීමිත බොරු කියා බලයට පැමිණි ආණ්ඩුව බවට වත්මන් ආණ්ඩුව පත්ව තිබෙනවා. වැඩ කරන ජනතාවගේ කර මතින් බලයට එන්න පාරට බැහැලා සටන් කළ පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. අද ඔවුන් සම්පූර්ණයෙන්ම වැඩ කරන ජනතාව අමතක කොට තම භූමිකාව කරනවා. මේ රටේ කම්කරු ජනතාව ආරක්ෂා කිරීම තුළින් පමණයි ජාතික ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් කියන එක අද ඔවුන්ට අමතක වී තිබෙනවා. අද අසීමිත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා.

අපිට චෝදනා කළා බදු අඩු කළා කියලා. අපි මිනිස්සුන්ට අමාරු වූ අවස්ථාවක අසීමිත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේ නැහැ. එහි වාසිය ජනතාවට දෙන්න උත්සාහ කළා. නමුත් කොවිඩ් වසංගතය සමඟ අපි ගත් ඇතැම් තීන්දු තිබෙනවා. නමුත් අතිබහුතරයක් තීන්දු ගත්තේ මේ රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන්. ඒක වැරැදි විදියට අර්ථකථනය කරන්න උත්සාහ කළා.

මගේ පෞද්ගලික ජීවිතයේ ඒකට සටන් කරනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමේ බලාපොරොත්තුව පෙරදැරිව අපි මැතිවරණය මෙහෙයවනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව තුළම මම මගේ තාත්තා නිදොස් කොට නිදහස් කරනවා. ඒ වගකීම අපි ඉටු කරනවා. ජනතාවට අපි ද්‍රෝහිකම් කරලා නැහැ. අපි හැමදාම ජනතාවගේ පැත්තේ සිට ජනතාව ගොඩනඟන්න දේශපාලන තීන්දු ගෙන තිබෙනවා. අද අපේ පක්ෂය අලුත් වී තිබෙනවා. අලුත් පරම්පරාව අතර පක්ෂයේ දොර විවෘත කර තිබෙනවා. අද බොහෝ අය චෝදනා කළා මේ මහින්ද රාජපක්ෂලාගේ පක්ෂය කියලා. මේ පක්ෂය ගොඩනැඟුවේ මේ රටට ආදරය කරන ජනතාව මිසක් වෙනත් කඳවුරුවලට අයත් දේශපාලන බලවේග නොවෙයි. අපි ජාතිකවාදී මතවාදය නියෝජනය කරනවා. අපි බෞද්ධ කඳවුර ආරක්ෂා කරනවා. ඒ වගේම අනෙකුත් ආගම්වලට ගරු කරනවා. අපි බෞද්ධයෙක් කියන එක ජාතිවාදී නැහැ. ඒ වගේම හැම ආගමක්ම අදහන අයිතිය අපි ආරක්ෂා කරනවා. හැම සංස්කෘතියක්ම අපි රකිනවා. අපි නූතන පරම්පරාවේ ජීවත් වෙනවා.

නාමල් රාජපක්ෂ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත්තා සහ එංගලන්තයේ නීති උපාධිය හැදෑරුවා කියන එක හෙට අනිද්දා පොලීසිය තහවුරු කර දෙයි. නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු වුණත් මම සෙල්ලම් කළේ රගර්. නමුත් මට මගේ සීයා වක්කඩෙන් අත සෝදාගෙන නාමයෝජනාවලට අත්සන් කළ ඩී.ඒ. රාජපක්ෂ කියන එක මම අමතක කරන්නේ නැහැ. අපි සංස්කෘතිය එක්ක ගොඩනැඟී තිබෙනවා. අපේ බලවේගය ගොඩනැඟී තිබෙන්නේ ඒ මතයි. අපි නූතන පරම්පරාවේ දේශපාලන පක්ෂයක්. නූතන ලෝකයට සහ අපේ අනාගත පරපුරට ගැළපෙන නව දේශපාලන බලවේගයක් ගොඩනඟන්න අපි කටයුතු කරනවා. අද අපි අලුත් වන විට ආණ්ඩුව අපිට බය වෙලා ඉන්නවා. අපිට වැඩිපුර ගහන්නේ බයට. ජනාධිපතිතුමා අපිට බය වුණාට අපි ඔබට බය නැහැ. අපිට මඩ ගහන්න පුළුවන්. අපිව හිරගෙවල්වල දාන්න පුළුවන්. බොරු සාක්ෂි හදන්න පුළුවන්. ඕනෑ කතාවක් කියලා අපේ පාක්ෂිකයන් මානසිකව වට්ටන්න පුළුවන්. නමුත් පොහොට්ටුවේ ඉන්නේ මහින්ද රාජපක්ෂගේ මිනිස්සු කියන එක මතක තියාගන්න. අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා.

අපිට කිසිවෙකුගේ පවුල් ප්‍රශ්න වැඩක් නැහැ. මේ රටේ ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු දුන්නා. රැකියා උත්පාදනය කරනවා කිවුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බැණ බැණ සිටි ආණ්ඩුව අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා කරන්න බැහැ කියනවා. ගොවියන්ට දෙන පොහොර සහනාධාරය කප්පාදු කරනවා. විදේශ රටවලින් සහල් ගෙන්වන ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කරනවා. ලංකාවට හාල් ගේන්න කලින් මිල වැඩි කරනවා. මේ රටේ නිෂ්පාදනය කරන සහල් වෙනුවට විදේශ රටවලින් ගේන්න සාකච්ඡා කරනවා. එක් පැත්තකින් පණිවුඩයක් එවනවා සෝලා නිවා දමන්න කියලා. ඒ අනුව ඩීසල් සහ ගල් අඟුරු මාෆියාවක් ඇතිකොට විදුලි බිල ඉහළ නංවා මේ රටේ ජනතාවට එම බරත් පටවන්න උත්සාහ කරනවා. අද වන විට පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියා අහිමි වෙනවා. පොලිස් නිලධාරීන් සියයට වැඩි පිරිසකට ස්ථාන මාරුවීම් දුන්නා. නේවාසිකාගාරවල සිටි 1000ට වැඩි පිරිසක් එළියට ඇද දැම්මා.

පොලීසියේ, රණවිරුවන්ගේ ගෞරවයට හානි කරනවා. ඔවුන්ට තිබුණු අභිමානය නැති කරන්න උත්සාහ කරනවා. අපි මේ රටේ වැඩ කරන ජනතාව විශ්වාස කරනවා. නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය මේ රටේ ඊළඟ ආණ්ඩුව හදන බලවේගය බවට පත්කරන්න අපි පෙළගැසිය යුතු වෙනවා. අපි සමඟ සිටි බොහෝ අය වෙන්ව ගියා. ඇතැම් හේතු සාධාරණයි. නමුත් ඇතැම් ඒවා සාධාරණ නැහැ. ඡන්ද දායකයන් අපෙන් ඈත් වුණා. නායකයෝ අපෙන් ගියා. අපේ කඳවුර, ඔබේ කඳවුර ශක්තිමත් කරන්න අපි සමඟ එක්වන්න කියා මා නැවත වරක් ආරාධනා කරනවා. අපි රටට හානියක් කළ කඳවුරක් නොවෙයි. අපි මේ රටට ද්‍රෝහිකම් කරන කඳවුරක් නොවෙයි. මේ රටේ ත්‍රස්තවාදය අවසන් කොට මේ රටට සංවර්ධනය ගෙනාපු කඳවුරයි. ඒ කඳවුරට එන්න කියා අපි ආරාධනා කරනවා. ඉදිරියේ දී නව දේශපාලන ගමනක් යන්න අපි පෙළගැසෙමු.

රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි –

වත්මන් ආණ්ඩුව බොරු කියමින් බලය අරගෙන මිනිස්සු රවටා තිබෙනවා. මිනිසුන්ගේ හදවතට තට්ටු කරලා බලය ගෙන මේ වන විට වෙනත් දෙයක් කියනවා. පළමු මෙහෙයුම තමයි රිළව් ගණන් කිරීම. රිළව් ගණින්න රුපියල් කෝටි 7ක් වැය කළා. එදා දළදා වහන්සේ මෙරටට වැඩම කළ පසුව වෙනම මාලිගාවක් හැදුවා. එහෙමයි දළදා වහන්සේ රැක්කේ. පළමු විමලධර්මසූරිය රජුගේ කාලයේ මහනුවර දළදා මාලිගාව හදලා රැක ගත්තේ මේ රාජකීයත්වයේ සංකේතය නිසයි. 1927 වසරේ අග්‍රාණ්ඩුකාරවරයා ක්වීන්ස් හෝටලයේ උඩු මහලේ සිට බලාගෙන ඉන්නවා. මිනිස්සු දළදා වහන්සේ වඳින්න යන විට ආණ්ඩුකාරවරයාට කෝපයක් ආවා. දළදා වහන්සේ ගේන්න කිවුවා. කුළුගෙඩියෙන් තළන්න හදන විට දළදා වහන්සේ අතුරුදන් වුණා. පසුව විශාල විනාශයක් වුණා. මිනිස්සු කඳුළින් සිටියා. වැස්ස පැමිණියා. නමුත් දළදා වහන්සේ සිටි ස්ථානයේම වැඩ සිටියා. එහෙම දළදා වහන්සේ වන්දනා කරන්න මේ අය පටන් ගත්තා. එදා යුද්ධය අවසන් කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා එදා මහනායක හිමියන්ගෙන් අහනවා දළදා දැක්මක් පවත්වමුද කියලා. දන්සල් 300ක් දුන්නා.

කිසි කරදයක් වුණේ නැහැ. කොටින්ට ගැහුවා. රට බේරාගත්තා. නමුත් අද වෙන්නේ කුමක්ද? දළදා පෙන්නුවා. මිනිස්සු 6ක් මියගියා. 400ක් රෝහලේ. වගකීම භාරගන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපේ රටේ අනාගතය තිබෙන්නේ මේ ජනතාව අතේ. මේ රටේ පාරවල් හදපු, වරායවල් හදපු, යුද්ධය අවසන් කළ පක්ෂය තමයි පොදුජන පෙරමුණ. අපි එදා රැවටුණා බොරුවට. නමුත් අපි ආපසු හැරිලා මේ ඡන්දයෙන් පෙන්වනවා මේ රටේ දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා. ගමට ගොස් ජනතාව දැනුවත් කරන්න ඕනෑ. ලංකාවේ හතර කොනේ වෙඩි තියනවා. මේ ඝාතන රැල්ල තවමත් තිබෙනවා. මේ විදියට වෙඩි තබා මරනවා නම් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ නැහැ. ජනතාවගේ ජීවිත රකින්න තමයි ආණ්ඩුවක් පත්කර ගන්නේ. ඒ වැඩේ කරන්න නොහැකි නම් ජනතාව තීන්දුවක් ගත යුතු වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා –

2005 වසරේ මේ ලංකාව තිබුණේ කොහොමද කියලා අපි මතක් කළයුතු වෙනවා. එදා ලංකාව පුරා බෝම්බ පිපිරුණා. දෙහිවල, කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, මාතර, පිටකොටුව ඇතුළුව සෑම තැනකම බෝම්බ පිපිරුණා. ලංකාවේ ආර්ථිකය සෘණ මට්ටමක තිබුණා. කටුනායක වරායට පහර දුන්නා. මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ආපස්සට ගියා. 2005 මේ රටේ ජනතාව ඡන්දයෙන් නව ජනාධිපතිවරයෙක් පත්කළා. ඒ පත්කළේ ජනාධිපතිවරයෙක් නොවෙයි. ජාතියට නායකයෙක් පත්කළා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණා. අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කළා. දරිද්‍රතාවය පහළ මට්ටමකට ගෙනාවා. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදුන්නා. රටටම විදුලිය දුන්නා. විදුලි බලාගාර ස්ථාපිත කළා. මේ රට මහා වැඩබිමක් කළා. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පස්සේ අපේ නායකයන්ට කරගන්න නොහැකිවූ මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන්තොටුපළ නිර්මාණය කළා. අලුතින් ලංකාවට කොටසක් එකතු කරමින් වරාය නගරය ඉදිකළා. මේ අපි දන්නා අතීතය. නමුත් අපි නොදත් අතීතයක් ද තිබුණා. එදා යුද ජයග්‍රහණය ඔන්න මෙන්න තිබියදී ජනතා විමුක්ති පෙරමුණ මහා රැල්ලක් ඇති කොට යුද්ධය අවසන් කිරීම නතර කළා.

මහින්ද මහත්තයා යුද්ධය අවසන් කොට මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න කටයුතු කළා. එදා සිදුකළ සංවර්ධන ව්‍යාපෘති නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණ සෑම අවස්ථාවකම උත්සාහ කළා. මේ රටේ මිනීමැරුවේ මංකොල්ලකෑවේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් රටට කළ සංවර්ධනයක් නැහැ.

හිටපු ඇමැති ගාමිණී ලොකුගේ, හිටපු ඇමැති ආචාර්ය සරත් වීරසේකර, හිටපු ඇමැති සී.බී. රත්නායක, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ, මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT