වසර 76ක් පැවැති පාලන ක්රමයම කිසිදු වෙනසක් නොකර මාලිමා ආණ්ඩුව පවත්වාගෙන යන බව එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා පැවසීය.
‘අධිරාජ්‍යවාදය ගෝලීය ධනවාදය හා ජාතිවාදය පරදවමු’ තේමාවෙන් එක්සත් සමාජවාදී පක්ෂය කොළඹ ග්‍රෑන්ඩ්පාස් කොස්ගස්හන්දියේ ඊයේ (01) පැවති මැයි දින රැලියට එක්වෙමින් සිරිතුංග ජයසූරිය මහතා ඒ බව සඳහන් කළේය.
අවිස්සාවේල්ල පරණ පාරේ රාජයේ ගබඩා සංකීර්ණය අසලින් ආරම්භ කළ එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි පෙළපාලිය ඔරුගොඩවත්ත ස්ටේස් පාර ඔස්සේ කොස්ගස්හන්දිය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව මැයි දින රැලිය ආරම්භ විය.
එහිදී සිරිතුංග ජයසූරිය මහතා මෙසේ ද පැවසීය.
මේ රටේ පාලනයේ වෙනසක් සිදු වෙලා තියෙනවා. වැට් බද්ද අයින් කරනවා කිව්වා. නමුත් වෙනසක් නැහැ. තවමත් ඔවුන් ඒ විදිහටම බලයේ ඉන්නවා. රූපවාහිනීවල වේදිකාවල චණ්ඩි බිහිවෙලා තියෙනවා. ප්රජාතන්ත්රවාදී අයිතීන්වලට පයින් ගහල තියෙනවා. මෙතෙක් කල් මේ රට ජනතාව පාලනය කරපු පාලකයෝ හැමදාම බලයට පත් වුණේ බොරු පොරොන්දු දීලා. ජනතාව දැනගෙන හිටියේ විමුක්ති පෙරමුණ බොරු කියන්න කැප්ටන්ලා කියලා. අර මෙතෙක් කල් හිටපු සේනානායකලා ,බණ්ඩාරනායකලා ,වික්‍රමසිංහලා, රජපක්ෂලාට වඩා බොරු තොගයක් ඇදබාලා අද මුකුත් කිවුවේ නැහැ වගේ ඉන්නවා. මේක තමයි ඒ ගොල්ලන්ගේ වෙනස. අරගොල්ලෝ රවට්ටපු එක ගැන ජනතාව දැන ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ බොරුවට ජනතාව නොදැන රැවටුණා ඒකයි වෙනස. ඒ විතරක් නොවෙයි, මේ අය බලයට පත් වුණාම වැට් බද්ද අයින් කරනවා කිව්වා.
අධය්යාපනයට බෙහෙත්වලට පෙළ පොතට පොත්පත්වලට සෞඛ්‍යයට වැටි බද්ද ඉවත් කරනවා කිව්වා. සතයක් වෙනස් කළේ නැහැ. රුපියලකින් වෙනසක් කළේ නැහැ. නමුත් උන්දැලා බලයේ ඉන්නවා. තවමත් ජනතාව යම් ප්‍රමාණයකට රැවටිලා ඉන්නවා. කොයි තරම් මේ රටේ ජනතාවගේ බුද්ධියට ජීවිත පරිත්‍යාග කර ආරක්ෂා කර තිබෙන ප්රජාතන්ත්රවාදී අයිතින්වලට තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතින්වලට අද පයින් ගහලා සතයකට මායිම් නොකර ඒ අය අද හැසිරෙනවා. හොඳම උදාහරණය තමයි අප්‍රේල් මාසේ 05 වැනි දා ඉන්දියාවේ අගමැති මෝදි සමඟ දවස් තුනක් කතා කර ගිවිසුම් 7ක් ගැහුවා. රනිල් වික්‍රමසිංහලා ගිවිසුම් ගහන කොට රාජපක්ෂලා ඒ වගේ ගිවිසුම් ගහන කොට මේ රටේ ජනතාව උද්ඝෝෂණය කළා.
මේ ආණ්ඩුව මෝදි එක්ක ගහපු එක ගිවිසුමක්වත් දන්නේ නැහැ. විශේෂයෙන්ම ආරක්ෂාව ගැන ගහපු ගිවිසුම ගැනවත් වචනයක්වත් කතා කරන්නේ නැහැ. අද මෝදිගේ ගෝලයේ බවට තමයි මේ අය පත් වෙලා තියෙන්නේ. මේ අයට වැඩිකල් යන්න ඉස්සෙල්ලා මේ අය කරපු වරද තේරෙයි. නමුත් වරද හරිගස්සන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මෙහි තියෙන භයානකකම. ඇබැද්දිය ඛේදවාචකය. මේක මැතිවරණ වේදිකාවක් නෙමෙයි. මේක කම්කරුවාගේ ගොවි ජනතාවගේ වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ඒ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ඇමරිකාවේ චිකාගෝ නුවර 1889දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා කම්කරුවන් පාරට බැහැපු වේලාවේ එහි පාලකයන් ඒකට පිළිතුරු දුන්නේ තුවක්කුවෙන් බයිනෙත්තුවෙන්. ඒ තුවක්කුව බයිනෙත්තුවට මුහුණ දුන් කම්කරු පන්තිය තමන්ගේ ජීවිත පූජා කළා වෙඩි උණ්ඩයට පපුව තියලා.
එක්සත් සමාජවාදී පක්ෂයේ ජාතික සංවිධායක නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා-
අපි අවුරුදු ගණනාවක් තිස්සේ කම්කරු දිනය සමරනවා. වැඩ කරන ජනතාවට තාමත් දිනා ගන්න ලෝකයක් තියෙනවා. ඒ නිසා තමයි අපි තාමත් මැයි දිනය සමරන්නේ. මේක ප්‍රවාහයක්. ලොවපුරා පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් හා විමුක්තිය වෙනුවෙන් ලොව පුරා කරන ජාත්‍යන්තර ක්‍රියාවලියක් වශයෙන් මැයි දිනය අපි පවත්වනවා. වසර 76ක කාලයක් පුරා ආණ්ඩු මාරුවෙමින් බණ්ඩාරනායකලා, සේනානායකලා, වික්‍රමසිංහලා, රට පාලනය කළා. ඒ පාලනයන්ගේ දිගුවක්ම මේ මාලිමා ආණ්ඩුව තුළින්ද සිදු වෙනවා. මේ ගෙවී යන්නේ ධනපති පන්ති සූරා කෑමේ 77 වැනි වසර තවදුරටත් තියෙන්නේ රතු මැයි රැලියක් නෙමෙයි. කොළ නිල් විදිහට රට මාරුවෙන් මාරුවට රට පාලනය වෙනවා. ඔවුන් බලයට පත් වුණේ ජනතාවගේ ඡන්දයෙන්. බලයට පත්වෙලා දැන් රජවරු වගේ ජීවත්වෙනවා. වසර 76ක කාලයක් තුළ තිබුණ පාලන ක්රමයම දැන් මාලිමා ආණ්ඩුවේත් තියෙනවා.
නිපුනි ශාරදා සහ ඉෂාරා දේවින්දනී
ඡයාරූප නිශ්ශංක විජේරත්න