මැතිවරණවලදී පසුගියදා පරාජය වූ සාම්ප්‍රදායික පක්ෂවලට නැවත හිස ඔසවන්න ඉඩ දිය යුතු නැහැ. මාලිමා ආණ්ඩුව ඉක්මනින් වැටෙයි කියලා විරුද්ධ පක්ෂය බලාපොරොත්තු වෙනවා. හිතන තරම් ඉක්මනින් එය වෙන්නේ නැහැ. මෝදි, ජුලි චැන්ග් වගේ බලවේග මෙන්ම මේ රටේ සාරය උරා බීපු දුමින්ද හුලංගමුව වගේ ව්‍යාපාරික පෙළැන්තියත් අනුරට උදවු කරනවා. ඔවුන් ආණ්ඩුව වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (01දා) කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී ජනතාව අමතමින් කියා සිටියේය.
“IMF මර උගුලට ඉන්දියන් විජිතකරණයට එරෙහිව එලියේ බලයක්” යන තේමාව යටතේ එම පක්ෂයේ මැයි දින රැලිය පැවැත්විණ.
තිඹිරිගස්යාය බීආර්සී ක්‍රීඩාංගණයේ සිට පක්ෂයේ නායකයන් පෙරටු කරගෙන සවස 1.00ට පමණ පිටත්වූ මැයි දින පා ගමන සවස 3.00ට පමණ කිරුළපනට පැමිණියේය. පෙළපාළියට එක්වූ ශිෂ්‍ය, තරුණ, කාන්තා සහ වෘත්තීය සමිතිවල නියෝජිතයන් සටන් පාඨ කියමින් උද්‍යෝගයෙන් ගමන් ගත් අතර මඟ දෙපස ධජ පතාක ඔසවා අලංකාර ලෙස සරසා තිබිණ. ජනතාවට බලය දෙන නව ව්‍යවස්ථාවක්, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමට ඉඩ නොදෙමු, ධනපතියන්ට බදු ගසනු – ජනතාවට සහන දෙනු, මර්දන නීති අහෝසි කරනු වැනි පාඨ එම පුවරුවල දැකගත හැකි විය.
කුමාර් ගුණරත්නම් මහතා රැලිය අමතමින් වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
දැන් රටට අවශ්‍යය අවුරුදු 76ක් රට විනාශ කළ බලවේගය ආපහු බලයට ගෙනඒම නෙමෙයි. 2022දී අපි ජන බලයෙන් විධායක ජනාධිපතිවරයෙක් ගෙදර යැවුවා. නමුත් ඒ බලය එක්තරා තැනකදි නතර වුණා. මේ ජනතා බලය ඉස්සරහට ගැනීමේ දේශපාලන සටන අප ඉදිරියේ තිබෙනවා. ඒ සඳහා සංවිධානාත්මක බලවේගයක් ගොඩනැඟිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට රතු කොඩිය බිම දාලා. පක්ෂයේ දේශපාලන බලය අමෙරිකාවට උකස් කරලා ඉවරයි. කවුරු ආවත් සමාජවාදය ගොඩනඟන්න බැහැ කියලා ඔවුන් කියනවා. මේ තිබෙන ආර්ථික අසමානතාව වෙනස් කළ යුතු නැද්ද? ඒ සඳහා කාල් මාක්ස්, ට්‍රොස්කි, රෝහණ විජේවීර යන අපේ ගුරුවරු පෙන්වාදුන් සමාජවාදී වැඩපිළිවෙළ අපි ඉදිරියට අරන් යනවා.
මේ තිබෙන පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාට ජනතාවාදී වැඩපිළිවෙළක් හදන්න බැහැ. ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරන්න පුළුවන් අරගලය වෙනුවෙන් පෙනී සිටි බලවේගයට දේශපාලන බලය ලබා ගත්තොත් පමණයි. එම වෙනසට නායකත්වය දෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පමණයි. මේ ආණ්ඩුවේ සංයුතියේ වෙනස්කම් කිහිපයක් තියෙනවා. සමාජ පසුබිම, ආර්ථික හැකියාව වගේ දේවලින් මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුවලට වඩා වෙනස්. නමුත් ආර්ථික වැඩපිළිවෙළේ කිසිම වෙනසක් නැහැ. පසුගිය ආණ්ඩු කරගෙන ගිය වැඩ පිළිවෙළ වර්තමාන ආණ්ඩුවත් කොන්දේසි විරහිතව කරගෙන යනවා. ඒ වගේම ජාත්‍යන්තර හා කලාපීය දේශපාලන බලවතුන්ට ලංකාව පාවාදීමේ වැඩපිළිවෙළ වේගයෙන් කරගෙන යනවා. මේ අපේ රට කලාපීය දේශපාලන ගැටුම්වලට ගොදුරුවීමේ අවදානමක් තිබෙනවා.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ආණ්ඩුව ගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී කියාමාර්ග නිසා දරුණු ලෙස බැටකාපු පක්ෂයක්. එවැනි පක්ෂයක් නායකත්වය දෙන ආණ්ඩුවක් බලයට පත්ව මේ වන විට මාස 7ක් ගතව ඇතත් ප්‍රජාතන්ත්‍රවාදයේ දිශානතිය දෙසට ධනාත්මක පියවර කිසිවක් ගෙන නැහැ.
ත්‍රස්තවාදී මර්දන පනත, ඔන්ලයින් පනත වගේ මර්දන අණපනත් අහෝසි කර නැහැ. ඒ වගේම පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වෙනවා. සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම් සිදු වෙනවා. මේ කෙටි කාලය තුළ ආණ්ඩුව ප්‍රගතිශීලී දිශාවට ගමන් කර නැහැ. ජනතාවාදී ආණ්ඩුවක් බලාපොරොත්තුව සිටි ජනතාවට මේ වන විට බරපතළ අත්දැකීම්වලට මුහුණදීමට සිදුව තිබෙනවා. ඒ නිසා මේ ගමන වෙනස් කළ යුතුයි. එයට දිවිහිමියෙන් කටයුතු කරන බව මම මේ ජාත්‍යන්තර කම්කරු දිනයේදී සපථ කරනවා යැයි කියා සිටියේය.
ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා – කොළඹ නගරයේ දේශපාලන බලය ගන්න උත්සාහ කරන සමගි ජන බලවේගය තලවකැලේට පසු බැහැලා තිබෙනවා. ඒ වගේම පොහොට්ටුව නුගේගොඩ පොකට් මීටිමක් පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශාලාවක් ඇතුලේ මැයි දිනය සමරනවා. මේ විදියට ධනපති පක්ෂ ඔක්කොම මේ වන විට හාන්සි වෙලා ඉවරයි.
මෙයට අමතරව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායිකා හේමමාලි අබේරත්න, තරුණ සංවිධානය වෙනුවෙන් ලහිරු වීරසේකර ඇතුළු කිහිප දෙනෙක් රැලිය ඇමතූහ.
චන්දන ජයවීර
ඡායාරූප – සුදත් නිශාන්ත