Home » පිල්ලෙයාන්ට දුරකතන ඇමතුමක් දීමට ඉල්ලූ රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක කන්කසන්තුරේට මාරු කරයි

පිල්ලෙයාන්ට දුරකතන ඇමතුමක් දීමට ඉල්ලූ රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක කන්කසන්තුරේට මාරු කරයි

by sachintha
May 2, 2025 1:47 am 0 comment

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා තිබිණි.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනය මුල් කරගෙන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා කන්කසන්තුරේ පොලිස් කොට්ඨාසයට මාරුකර යවා තිබේ.

මෙම ස්ථාන මාරුව ඊයේ (01) සිට ක්‍රියාත්මක වන ලෙස සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිඛිතව දැනුම් දීමක් ද කර තිබුණි. එම දැනුම් දීම සහ මෙම දුරකතන ඇමතුම ලබාදීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව මෙම ස්ථාන මාරුවීම සිදු කර ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට දුරකතනයෙන් පවසා ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

රැඳවුම් නියෝගයක් මත රඳවා සිටින සැකකරුවෙක් සමඟ එසේ දුරකතනයකින් කතාබහ කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම දුරකතන ඇමතුම ගැන ඉහළ නිලධාරින් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

ඉහළ පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශනයක් ද ආරම්භ කර ඇත. ඊට අනුව මෙම ස්ථාන මාරුවීම සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ස්ථාන මාරුවීම ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශයේ කටයුතු කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක ලෙස දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටි හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා 2012 වසරේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලැබීමත් සමඟ එතැන් සිට මේ දක්වා වසර 13ක පමණ කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක ලෙස කටයුතු කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා බව සඳහන් ය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT