කොළඹ ගෝල්ෆේස් පිටියේ ජාතික ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ මැයි දින උත්සවයේ වේදිකාව අනවසරයෙන් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත් පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (01) දින උදෑසන අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය පවසයි. සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතනය හා ඔහු පැමිණි යතුරුපැදියද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ලෝක කම්කරු දිනය සැමරීම නිමිත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ මැයි දින රැලියට ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතව තිබිණි.
සැකකාර පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ජංගම දුරකතනයෙන් උත්සව භූමිය මෙන්ම වේදිකාව හා මාර්ගයේ ඡායාරූප ලබාගන්නා අයුරු පොලිස් නිලධාරින්ගේ නෙත ගැටීමත් සමඟම එම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලීසිය වෙත භාරදී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දෙමෝදර, උඩුවර, නේපියර් පහළ කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක් බවත් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය කරගත් බවත් පොලීසිය පවසයි. පින්තාරුකරුවකු වශයෙන් රැකියාව කරන සැකකරු කිරුළපන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි අයෙක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.
කොටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විමර්ශන පවත්වති.
නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ