Home » කරුණු සොයන්න මහාචාර්යවරුන් තිදෙනකුගේ කමිටුවක්
සබරගමු සරසවි සිසුවා සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය:

කරුණු සොයන්න මහාචාර්යවරුන් තිදෙනකුගේ කමිටුවක්

by sachintha
May 2, 2025 2:55 am 0 comment

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරූ ඩී. ජී. සී. සී. ඩී. දයානන්ද සිසුවා සියදිවි හානි කරගැනීම පිළිබඳ සොයාබැලීමට මහාචාර්යවරුන් තිදෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කළ බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ‘දිනමිණ’ට ඊයේ (01) පැවසීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. ඒ. වයි. අමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ආර්. එම්. ඒ. ටී. රත්නායක, වයි. එස්. චන්ද්‍රසේකර මහත්වරුන් පත් කළ බව ද ඒ මහතා පැවසුවේය. කමිටු වාර්තාව ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් මේ සිද්ධියට අදාළව විශ්වවිද්‍යාලයේ සිසුන් අතින් විනය විරෝධී කටයුත්තක් සිදුව ඇත්ද යන්න සොයාබැලීමක් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙම සිසුවා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හදාරමින් සිටි බවත් මාර්ගගත සිසුන්ට විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ නේවාසික පහසුකම් නොමැති බවත් ඒ මහතා පැවසුවේය.

නවක වධ පනත යටතේ මේ සිද්ධියට අදාළව පොලීසිය මඟින් පරීක්ෂණයක් කරන බව ද ඒ මහතා පැවසුවේය. -සන්ධ්‍යා කරුණාරත්න, රත්නපුර දිස්ත්‍රික් සමූහ

පොලීසියෙන් පුළුල් විමර්ශනයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චරිත් දිල්ශාන් නැමැති 23 හැවිරිදි සිසුවා ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීම විශාදය හේතුවෙන් සිදු වූවක් බව මූලික විමර්ශනවලින් අනාවරණය වූවත් සිසුවාට නවක වදය ලබාදී ඇති බවට ඔහු සමඟ අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුවෙක් පවසා ඇති බැවින් අධිකරණයට ඒ සම්බන්ධයෙන් අද (02) දින කරුණු වාර්තා කර පුළුල් විමර්ශනයක් සිදු කරන බව පුස්සැල්ලෑව පොලීසිය සඳහන් කරයි.

මෙම සිසුවා සියදිවි හානිකර ගැනීමට පෙර ලියා ඇති ලිපියකින් ද ඔහු දැඩි මානසික පීඩනයකින් කාලයක්ම පීඩාවිඳ ඇති බව තහවුරු වන බවත් ඔහු සියදිවි හානිකර ගැනීමට මුල්වී ඇත්තේ එම මානසික පීඩනය බවද එමඟින් පෙනීයන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සඳහන් කළේය.

මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ පසුගිය 27 වැනිදා පැවති අලුත් අවුරුදු උත්සවයට සහභාගිවී පසුගිය 28 වැනිදා ගම්පොළ පිහිටි නිවසට පැමිණ ඇති බවත් ඒ පැමිණි අවස්ථාවේ සිටම ඔහුගේ හැසිරීමේ වෙනසක් තිබී ඇති බව පවුලේ ඥාතීන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පෙනීයන බවත් පුස්සැල්ලෑව පොලීසිය සඳහන් කරයි.

සිසුවා සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ පසුගිය 29 වෙනිදා ය. මෙම මරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදුවූයේ සාමාන්‍ය සියදිවි හානිකර ගැනීමක් බව පැහැදිලි වුයේ යැයිද පුස්සැල්ලෑව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම මරණය සම්බන්ධයෙන් පැවැති තත්ත්වය වෙනස් වෙමින් සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති වන්නේ සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (01) නි‍ෙවසට පැමිණි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙක් විසින් මියගිය සිසුවාගේ පියාට පැවසූ නවක වද සිදුවීමක් බවද එම නිලධාරියා කීය.

අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීමට ගිය මෙම සිසුවා එහිදී නවක වදයට ලක්වූ බවත් ඒ සම්බන්ධයෙන් ඔහු යම් පීඩනයකින් සිටි බවත් එම සිසුවා පවසා ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

මේ ගැන සියදිවි හානිකර ගත් සිසුවාගේ පියා විසින් පොලීසියට පැවසීමෙන් පසු ඔහුගේත් නවක වදය සම්බන්ධයෙන් තොරතුරු පැවසූ සිසුවාගේත් කටඋත්තර පොලීසිය සටහන් කර ගත් බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT