ලුණුගම්වෙහෙර පොලිස් වසමේ අක්කරකාල්ගොඩ ප්රදේශයේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවකු අනතුරට පත්කර පසුව ඔහුට පොරවකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු පෙරේදා (30) රාත්රී අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර අක්කරකාල්ගොඩ ප්රදේශයේම පදිංචි 27 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ අංක 23, රණවිරු නිවාස, සාම මාවත, ලුණුගම්වෙහෙර ලිපිනයේ පදිංචිව සිටි විලියම් ලෙස්ලි සිල්වා නමැති 67 හැවිරිදි පුද්ගලයෙකි. මරණයට පත් වූ පුද්ගලයා පෙරේදා (30) සවස ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී පසු පසින් පැමිණ ඇති සැකකාර පුද්ගලයා සිය බොලරෝ වර්ගයේ කැබ් රථයෙන් යතුරුපැදිකරුවා හප්පා ටික දුරක් රැගෙන ගොස් බිම වැටුණු පසු කැබ් රථයේ තිබූ පොරවක් රැගෙන විත් බිම වැටී සිටි යතුරුපැදිකරුට පහර දී එම ස්ථානයේදීම ඝාතනය කර පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්රදේශවාසීන් විසින් ලුණුගම්වෙහෙර පොලීසියට දැනුවත් කිරීමෙන් පසු පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී සිදු කළ මූලික විමර්ශනවලදී පහරදීම සිදු කළ සැකකරු මුල් අවස්ථාවේදීම හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සිදු කළ විමර්ශනවලදී සැකකාර පුද්ගලයා හා බෝලරෝ වර්ගයේ ජීප් රථය සහ පහර දීම සිදු කළ පොරවද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ඝාතනය කිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මරණකරු ප්රදේශයේ විහාරස්ථානයක ආවතේවකරුවෙක් ලෙස කටයුතු කර ඇති සාමකාමී පුද්ගලයකු බව ද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම මහේස්ත්රාත්වරයා ස්ථානයට පැමිණ මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා තිබේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ලුණුගම්වෙහෙර පොලීසිය විසින් සිදු කරයි.
සූරියවැව විශේෂ – නුවන් ජයසේකර