Friday, May 2, 2025
Home » කසළ ටොන් 633ක් මහනුවරට එකතු වෙලා
දළදා වන්දනාව පැවති දින දහයේදී

කසළ ටොන් 633ක් මහනුවරට එකතු වෙලා

-ළමා පිට්ටනියක් ලෙස සකස් කර තිබුණ පැරැණි කුණු භූමියට නැවතත් කුණු

by sachintha
May 2, 2025 1:59 am 0 comment

දළදා වන්දනාව පැවති දිනවල මහනුවර නගරයේ එක්රොක් වූ කැළි කසළ විශාල ප්‍රමාණයක් කටුගස්තොට ගොහාගොඩ පිහිටි තේක්කවත්ත කසළ අංගණයට බැහර කර ඇති බවට ලද තොරතුරකට අනුව ඒ ගැන සොයාබැලීම පිණිස අපි පෙරේදා (30) කසළ අංගණය වෙත ගියෙමු. එසේ ගිය අප හට දැක ගැනීමට හැකිවූයේ තේක්කවත්තේ පිහිටි තැනිතලා බිමක විශාල ලෙස මෙම කසළ තොගය ගොඩගසා ඇති අයුරුයි.

මෙසේ ගොඩ ගසා තිබෙන කැළි කසළ තොගයට ඉදිරියේදී කුමක් කරන්නේද යන්න පිළිබඳව මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානි ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

Òඉකුත් 17 වැනිදා පටන් දළදා වන්දනාවට ජනතාව මහනුවර නගරයට එන්න පටන් ගත්තා. එසේ පැමිණෙන අය බැහර කරන කසළ විධිමත් අයුරින් එකතු කරන්න අපි වැඩපිළිවෙළක් සකස් කරල තිබුණා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ආයතනය පමණක් වර්ගීකරණය කර එකතු කරන්න කසළ බඳුන් 400ක් පමණ ලබාදීල තිබුණා. අපි පුළුවන් තරම් උත්සාහ කළේ වර්ගීකරණය කරල කසළ එකතු කරන්න. ඒකට හේතුව අපි වසර එකහමාරක පමණ කාලයක සිට ගොහාගොඩට මිශ්‍ර කසළ දැමීම නවතා දමා තිබුණේ. විධිමත් වැඩපිළිවෙළක් යටතේ තමයි එතනට කසළ බැහැර කළේ. නමුත් දළදා වන්දනාවට ආපු ප්‍රජාව 17 සිට 28 දක්වාම මිශ්‍ර කසළ තමයි පරිසරයට මුදාහැරියේ. අපි කොයිතරම් උත්සාහ කළත් වර්ගීකරණය කරල කසළ එකතු කරන්න, ඒකට අවස්ථාව ලැබුණෙ නැහැ.

ඒ දින දහය තුළ මෙට්‍රික් ටොන් 633ක් මිශ්‍ර කසළ ගොහාගොඩට බැහර කළා. එම කසළ තේක්කත්තට ප්‍රවාහනය කරන්න මාර්ග සංවර්ධන අධිකාරිය වගේම ප්‍රදේශයේ රථවාහන හිමියෝ නොමිලේ ප්‍රවාහන පහසුකම් පවා සපයා දුන්නා.

අවුරුදු 50ක් 60ක් කුණු දාපු භූමියේ ළමයින්ට සෙල්ලම් කරන්න සුදුසු පරිදි පිට්ටනියක් ලෙස සකස් කරල තිබුණු තැනකට තමයි ඒ කසළ දැමීමටසිද්ධ වුණේ. මේ කසළ ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට ඉතාමත්ම අපහසුයි. හේතුව වර්ගීකරණය නොකරපු කසළ නිසා. අපි අවුරුදු එකහමාරක් පමණ කාලයක් මෙතනට කසළ දැම්මේ නැහැ. පසුගිය කාලේ මෙතන තිබුණු පොලිතීන්, ප්ලාස්ටික්, රෙදි, රෙජිෆෝම් ආදී නොදිරන කසළ පුත්තලම සිමෙන්ති කම්හලට ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් යැවුවා. අපි දළදා වන්දනාව පැවති දිනවල සිමෙන්ති සමාගමේ ඉල්ලීමක් කළා දවසකට කන්ටේනර් ලෝඩ් දෙක ගානේ අරන යන්න කියල. එම සමාගම ඉතාමත්ම උනන්දුවෙන් සහය දැක්වූවා. ඒ අනුව දිනකට ටොන් දෙක ගානේ පොලිතීන් ප්ලාස්ටික් ආදිය රැගෙන ගියා. එහෙමත් කරල තමයි මේ කසළ කන්ද හැදිල තියෙන්නේ.

අපිට මේ කසළ තොගය එකවරම කොළඹ අරන් ගිහින් සනීපාරක්ෂක දාහකයක දාලා පිලිස්සීමේ හැකියාව තිබෙනවා. නමුත් ඒ වෙනුවෙන් යන ප්‍රවාහන වියදම් පැටවීමට යන වියදම් සැලකුවාම විශාල ගැටලුවක්. ටොන් 600ක් තිබුණට පරිමාව වැඩියි. ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් තිබෙන නිසා. ලොරි රථවල රැගෙන යාමේ වාර ගණනත් වැඩි වෙනවා. එක ලොරි ලෝඩ් එකකට රුපියල් 75,000ක වත් වියදමක් දරන්න සිදු වේවි. වාර 10ක් ගියොත් ලක්ෂ 75ක් විතර යාවි. මේ සම්බන්ධව ගරු ආණ්ඩුකාරතුමාත් සමඟ දුරකතනයෙන් කතා කළා. නාගරික කොමසාරිස්තුමිය සමඟත් සාකච්ඡා කළා. කොළඹ නාගරික කොමසාරිස්තුමා එක්ක සූම් තාක්ෂණයෙන් කතා කරල තියෙනවා. අදත් සාකච්ඡාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මොන විදියේ සාකච්ඡා කළත් අපි බලන්න ඕනැ රටට බරක් නොවී මේක විසඳන්න.

ගොහාගොඩ තේක්කවත්ත කසළ අංගණයට කසළ බැහැර කිරීමට විරුද්ධව ගම්වාසීන් එකතු වෙලා නඩුවකුත් දාලා තියෙනවා. ඒ නිසා අපි කෝටි 15ක් විතර වියදම් කරල එතන කසළ දැමීමේ භූමියක් නොවන ආකාරයට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. මේ කසළ තොගය කෙටි කාලයක් තුළ ඉවත් කර ගැනීමට අවශ්‍යයි. පරිමාවෙන් වැඩි කසළ තිබෙන නිසා මාසයක් පමණ කාලයක් තුළ ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු ආදිය වෙන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරල ඉතිරි කසළ කොළඹට යවනවාද කියල දෙවනුව හිතන්න වෙනවා. අපි සේවක මහතුන්ට දිරි දීමනාවක් හෝ ගෙවලා ඉක්මනින් මේ කසළ තොගය වෙන් කිරීම කරන්නත් සැලසුම් කරල තිබෙනවාÓ

උද්ගතව ඇති මෙම ගැටලුවට තවම නිසි විසඳුමක් ලැබී නොමැති බවත් තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන බව ද ඉංජිනේරුවරයා අවධාරණය කළේය.

කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT