විල්පත්තුව ජාතික වනඋද්‍යාන මායිමේ ප්‍රේරක කලාපය තුළ කලක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ දැවැන්ත දැව ජාවාරමක් වැටලීමට එළුවන්කුලම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් කටයුතු කර ඇත. එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න දැව තොගයක් ද අත්අඩංගුවට ගැනීමට පෙරේදා (30 ) සමත්ව ඇත.
කලක සිට මෙම මහා පරිමාණ දැව ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්, ඒ සඳහා වනාතවිල්ලුව පොලීසියේ ඉහළ නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලැබී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බව ද වැටලීම කළ වනජීවී නිලධාරීහු පවසති.
වැටලීමේදි වීර, පළු, බුරුත, හල්මිල්ල, ඇතුළු වටිනා දැව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.
එම දැව තොග විල්පත්තුව ජාතික වන උද්‍යානයෙන් හා ආසන්නයේ පිහිටි සිමෙන්ති සමාගමේ කැලෑවලින් කපා ඇති බවට තහවුරු වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
එසේ කැපූ දැව විල්පත්තුව ජාතික වන උද්‍යානයේ ප්‍රේරක කලාපයට අයත් ගඟේවාඩිය කඩොලාන සංරක්ෂිත භූමියට ඉහළින් ඇති ප්‍රේරක කලාපය තුළ නිදහසේ කාලයක් පුරා රඳවා ගනිමින් එම ස්ථානවලදීම යාන්ත්‍රික කියත්වලින් කපා ඇති බව වනජීවිය පවසයි.
මෙම මහා පරිමාණ දැව ජාවාරම පවත්වාගෙන ගිය ස්ථානයට මීටර් 50කටත් අඩු දුරකින් ගඟේවාඩිය නාවික හමුදා කඳවුර පිහිටා ඇති අතර එම නිලධාරීන්ට ද මෙම ජාවාරම හසු නොවීම පුදුමය දනවන බව වැටලීම කළ වනජීවී නිලධාරීහු පවසති.
මෙම දැව ජාවාරම සිදු කළ ජාවාරම්කරු ගඟේවාඩිය ගම්මානයේ පදිංචිකරුවකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බව ද වනජීවිය පවසයි.
කපා තිබූ පළු, වීර, බුරුත වෘක්ෂයක් අවුරුදු 100 ඉක්මවූ දැවැන්ත ඒවා බවත් වීර ඇතුළු තවත් වෘක්ෂයන් රැසක් ගස් පිටින්ම කපා තිබූ බව ද ඒවා හෝටල් හෝ වෙනත් කටයුතු අලංකාර සඳහා ලබා දීමේ අරමුණින් කපා දමන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැකකරයි.
වැටලීම සිදුකරන අතරතුර වනාතවිල්ලුව පොලිස්ථානාධිපතිවරයා වනජීවී නිලධාරීන්ට දුරකතනයෙන් අමතා මෙම දැව අත්අඩංගුවට ගැනීම ගැන දොස් කියා ඇති බවත්, එය වනජීවියට අදාළ කටයුත්තක් නොවන බව ද පවසා ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
ඒ හේතුවෙන් මෙම දැව ජාවාරම පිළිබඳව වනාතවිල්ලුව පොලිස්ථානාධිපතිවරයා දැව ජාවාරම්කරුවන් සමඟ දීර්ඝ සම්බන්ධතාවක් ඇති බවට වනජීවි නිලධාරීන් සැක කරති.
ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් වනජීවී නිලධාරීන් කටයුතු කරන බව පවසන්නට විය.
අත්අඩංගුවට ගැනුණු ඉරූ දැව හා ගස් පිටින් කපා තිබූ දැව තොගය එළුවන්කුලම වනජීවී කාර්යාලට රැගෙන යාමට කටයුතු කර තිබුණි.
විල්පත්තුව ජාතික වන උද්‍යාන භාරකරු සුරංග රත්නායක මහතාගේ උපදෙස් මත එළුවන්කුලම වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් වන සත්ත්ව අඩවි සහකාර එන්.පී.එල්.එස්. මාරසිංහ, එස්.ඩී.එම්. සේරම්, ක්ෂේත්‍ර සහායක ඒ.එම්. අස්ලම් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම වැටලීමට එක්ව තිබුණි.
පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ