Home » කැළි කසළ අංගණය හේතුවෙන් දෙල්ගොඩ බස් නැවතුමේ කඩ පාළුවට ගිහින් බස් නැවතුමත් ජරාවාස වෙලා

කැළි කසළ අංගණය හේතුවෙන් දෙල්ගොඩ බස් නැවතුමේ කඩ පාළුවට ගිහින් බස් නැවතුමත් ජරාවාස වෙලා

- බස් කාර්ය මණ්ඩලයට මූලික පහසුකම්වත් නෑ

by sachintha
May 2, 2025 1:45 am 0 comment

දෙල්ගොඩ දෙමහල් ප්‍රධාන බස් නැවතුම්පොළ අසල බියගම ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන කැළි කසළ අංගණය නිසා එහි ඇති දැඩි දුඟදත්, මැසි මදුරුවන්ගේ ගහනයත් හේතුවෙන් මෙහි ඇති වෙළෙඳසල් කුලියට ලබා ගැනීමට වෙළෙඳුන් ඉදිරිපත් නොවීමෙන් ඒවා ජරාවාසව පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

මීට අමතරව දෙල්ගොඩ දෙමහල් ප්‍රධාන බස් නැවතුම්පොළ ප්‍රධාන මාර්ගයෙන් ඇතුළට වන පරිදි ඉදිකර ඇති නිසා එම ස්ථානයට මගී ජනතාව පැමිණීමේ අඩුකමක් ඇති බැවින් එම දෙමහල් ප්‍රධාන බස් නැවතුම්පොළේ වෙළෙඳසල් කුලියට ලබා ගැනීමට වෙළෙඳ ප්‍රජාව එතරම් උනන්දුවක් නොදක්වන බවට එහි ගිය අපට දැක ගත හැකි විය. මේ වන විට මෙහි පානීය ජල පහසුකම් ලබා ගැනීමට සවිකර ඇති ඇතැම් ජල කරාම කැඩී ඇති බැවින් පානීය ජලය ලබා ගැනිමේදී ජනතාව විවිධ කරදරවලට මුහුණපා සිටිති. මේ වන විට මෙම දෙමහල් ප්‍රධාන බස් නැවතුම්පොළ ජරාවාසව පරවියන්ගේ වසුරුවලින් අපවිත්‍රව පවතින බැවින් මෙම ස්ථානයට පැමිණෙන ජනතාව විවිධ පීඩාවන්ට ගොදුරු වන බවද ජනතාව පෙන්වා දෙති.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් දෙල්ගොඩ දෙමහල් ප්‍රධාන බස් නැවතුම්පොළ භූමියට පැමිණෙන බස් රථවල සේවය කරන කාර්ය මණ්ඩලයට දිවා ආහාරය ගැනීමට හෝ පවස නිවා ගැනීමට විවේකාගාරයක් හෝ ඉදිකර නොමැතිවීමෙන් ද මෙම ස්ථානයට පැමිණෙන බස් රථ කාර්ය මණ්ඩලය විවිධ දුෂ්කරතාවලට ලක්ව සිටිති. දෙල්ගොඩ දෙමහල් ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණෙන බස් රථ කාර්ය මණ්ඩලයට මෙම ස්ථානය අසල පිහිටි කැළි කසළ අංගණයේ දුඟද හේතුවෙන් ආහාර අනුභව කිරීමේදී ද අපහසුතාවයට පත් වෙති.

ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගර්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් දෙල්ගොඩ දෙමහල් ප්‍රධාන බස් නැවතුම්පොළ භූමියේ පවතින ගැටලු සහ අඩුපාඩුවලට කඩිනමින් අවශ්‍ය නිසි විසඳුම් ලබාදෙන ලෙසට ප්‍රදේශවාසීහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

මහර සමූහ – ගණිඳු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT