Home » වයඹ ජනකලා කේන්ද්‍රය දිනෙන් දින විනාශ මුඛයට

වයඹ ජනකලා කේන්ද්‍රය දිනෙන් දින විනාශ මුඛයට

by sachintha
May 2, 2025 1:47 am 0 comment

වයඹ ජනකලා කේන්ද්‍රය දිනෙන් දින විනාශ මුඛයට යන බවත්, ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැතිකමෙන් වෙළෙඳ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවට පත්වී ඇති බවත්, දැනට ජනකලා කේන්ද්‍රයේ ඇතැම් වෙළෙඳසල්වලට විදුලිය නොමැති අතර, ව්‍යාපාරිකයින් හට වැසිකිළි පහසුකම් නොමැති අතර ගාස්තු වරින් වර ඉහළ දැමීම පමණක් සිදුවන බව ව්‍යාපාරිකයෝ පවසති.

ජනකලා කේන්ද්‍රය ඉදිරිපස තිබූ ළමා උද්‍යානය අද වන විට භාවිතයට ගත නොහැකි අන්දමට අබලන්වී වල්වැදී ඇත. කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ දරුවන් වෙනුවෙන් තිබූ ළමා උද්‍යානයද ඉවත් කර ඇති අතර කුරුණෑගල නගරය තුළ දරුවන්ට විනෝදවීමට ස්ථානයක් නොමැති බවත් ආදායම් ඉපයූ වෙළෙඳසල් රැසක් හිටපු පාලකයින් විසින් කඩා දමා දැවැන්ත කලාගාර ඉදිකරන මුවාවෙන් ඉදිකිරීම් ආරම්භ කළ ගොඩනැඟිලි නිසා දැනට පැරණි නටබුන් සහිත භූමියක් බවට පත් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

කුරුණෑගල නගරයේ සුන්දර පරිසරයක පිහිටා ඇති ජනකලා කේන්ද්‍රය තුළ කලාකරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් සැකසීම, අබලන්ව ඇති ගොඩනැඟිලි නවීකරණය කිරීම, ට්‍රාන්ස්ෆෝමරයක් සවි කිරීම් ආදී කටයුතු සිදු කළ හොත් වයඹ ජනකලා කේන්ද්‍රය ගොඩනැඟිය හැකි බවත් ජනප්‍රසාදය දිනූ ස්ථානයක් බවට පත්කළ හැකි බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ පිළිබඳව ජනකලා කේන්ද්‍රයේ සභාපති ආචාර්ය දයානන්ද මහතාගෙන් අප කළ විමසුමකදී තාවකාලික වෙළෙඳ කුටි ඉදිකර සහනදායි ක්‍රමයට ලබා දීමටත් දැනට තිබෙන ගොඩනැඟිලි නවීකරණය කිරීමටත් ළමා උද්‍යානය නවීන ක්‍රීඩා උපකරණ සවිකර දරුවන්ට ආකර්ෂණීය ස්ථානයක් කිරීමටත් කලාකරුවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම ආදී සැලසුම් රැසක් ආණ්ඩුකාරවරයාට ලබා දී ඇති බවත් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද පවසා සිටියේය.

මාවතගම – ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT