කම්කරු දිනය විවිධාකාරයෙන් අර්ථ ඉගැන්වෙන්නේ, ඒ ඒ ශ්රමිකයන්ගේ ශ්රම දායකත්වය අනුවයි. නගරය පිරිසිදු කරන කම්කරුවන්ට බොහෝ විට චෝදනාවන් එල්ල වන්නේ, ඔවුන්ගේ වැඩ කටයුතු හරියාකාරව නොකරන බවටයි.
එහෙත් තම රාජකාරිය දේව කාරියක් සේ සලකා කටයුතු කරන කම්කරුවන් නිසා ආයතන, නගර, මංමාවත්, අලංකරණය පසුපස සිටින හොඳම සාක්ෂිය, කුරුණෑගල නගර සභාවේ කම්කරු වෘත්තීයේ නිරත එම්. රාමායි.
“කුරුණෑගල නගරයේ පොලීසිය ළඟ ඉඳලා නාවින්න වට රවුම පැත්තෙන් පුවක්ගස් හන්දිය වට රවුම දක්වා ඒ අතරමඟ අතුරු මාර්ගත් එක්ක ඔක්කොම කිලෝමීටර් පහකට වැඩි දුර ප්රමාණයක් එක දවසට මම අතුගානවා. පාන්දර පහට ගෙදරින් ආවාම දවල් දෙක වෙනකල් සුද්ද පවිත්ර කරනවා. ඉස්සර අට දෙනෙක් වැඩ කරපු ඒ දුර ප්රමාණය මම අද තනියම අතුගාන තත්ත්වයට පත්වෙලා. ඒකට හේතුව මේ වගේ කම්කරු රැකියාවලට අද ගොඩක් අය යොමු වෙන්නෙ නෑ. විශේෂයෙන්ම කාන්තාවන් එන්නෙම නැති තරම්. ඒ හින්දයි මට තනියම වැඩ කරන්න වෙලා තියෙන්නේ. එච්චර වැඩ කරලත්, නගරයේ ඇතැම් මිනිස්සු කුණු ටික අරන් ගියේ නැති වුණාම බණිනවා. ඉතින් අපි මොකද කරන්නේ? මම මගේ රාජකාරිය උපරිමයෙන් කරනවා. අතුරු පාරවල ගොඩක් ගෙවල්වල කට්ටිය ගස් හැදුවට ඔක්කොම ගස්වල අතු තියෙන්නේ පාරට නැවිලා. කොළ ටික ඔක්කොම පාරට වැටෙනවා. වැටෙන කොළ අතුගාන්න එපා වෙනවා. කොල හැලෙන කාලෙට ටිකක් අමාරුයි. එතකොට ඉතින් ඉදලෙන් අතුගාන්න බෑ . මම මගේ සල්ලිවලින් ප්ලාස්ටික් රේක්කයක් ගෙනත් මේ ගෙදරක තියාගෙන ඉන්නවා. ඒක හින්දා එකපාරක් පැයෙන් අතුගාන්න තියෙනවා නම් ඒ වැඩේ විනාඩි 45න් කරන්න පුළුවන්. මං 2009යේ වැඩට ආවේ. මේ ආයතනයට කට්ටිය වැඩ කරන්න එනවා අඩුයි. ගෑනු ගොඩක් අඩුයි. ගොඩක් කට්ටිය පැන්සන් ගියා. ඉන්න පිරිමි කට්ටියගෙ පැමිණීම ගොඩක් අඩුයි. බෞද්ධාලෝක පාරේ මම විතරයි වැඩ කරන්නේ. මම හැමදාම වැඩට එනවා. ඉතින් මගේ රාජකාරිය මං හරියට කරනවා. මම අතුගාගෙන යනකොට පිරිමි කට්ටිය අනිවාර්යයෙන් එන්න ඕනෙනේ. කරත්තේ අරගෙන අතුගාන කුණු ටික ගන්න. සමහර තැන්වල ඉතින් අතුගාලා මං තියලා ගියාම, කුණු ගන්ඩ කවුරුත් නැත්නම් ඒ පාරවල්වල පදිංචිකරුවෝ අපිට බණිනවා. අරක කෙරුවේ නෑ. මේක කෙරුවේ නෑ. කානු සුද්ද කළේ නැහැ කියලා. ඉතින් නගර සභාවේ කම්කරුවො අඩුයි. මේ රූඩ් එකේ ඉස්සර නම් අට දෙනෙක් වගේ හිටියා. ඒ කියන්නේ කරත්ත දෙකකට හතර දෙනයි. දැන් එහෙම නෑ. ඒ කියන්නේ සේවකයෝ ගොඩක් අඩුයි. මම කියන්න දන්නෙ නෑ ඇයි කට්ටිය වැඩට එන්නේ නැත්තෙ කියලා.
සමහරවිට මාස අවසානයේ පඩිය ගන්නවට වඩා දිනපතා වැටුපක් ලැබෙනවාට ඒ අය කැමති ඇති. දිනපතා කම්කරු පඩිය වැඩියිනෙ. ළමයි ඉස්කෝලේ යවන්න, කන්න බොන්න ලොකු වියදමක් යන හින්දා ගොඩක් අය පිට කම්කරු වැඩවලට යනවා. ඒ හින්දත් වෙන්න පුළුවන් සේවකයෝ අඩු වෙන්න හේතුව. අපිට දවස් තුනක් අතුගාන්න දෙනවා. දවස් තුනක් කානුවට දානවා. ඉතින් දවස් තුනක් අතුගාන්න දාපුවාම ටිකක් අමාරුයි.
දැන් අපිට ඉස්සරට වඩා ගොඩක් හොඳයි. ඉස්සර කුණු අදිනවා කිවුවහම ගොඩක් ජරාව අදින්න තියෙනවා. ඒත් දැන් මිනිස්සු ගොඩක් දියුණුයි. කුණු ටික වුණත් බැහැර කරන්නේ වෙන් කරලා. අපි කුණු එකතු කරන්නේ, දිරන කුණු, නොදිරන කුණු වෙන් කරලා. ඒ නිසා මේ රැකියාව කරන්න බයවෙන්න ඕන නැහැ.”
කියලයි ඇය සඳහන් කළේ. ඇත්තටම කුණු ඉවත් කළ හැක්කේ, හදවතේ කුණු නැති මිනිසුන්ට කියලයි රාමායි සමඟ කළ කතාබහේ දී තේරුම් ගියේ.
ඉබ්බාගමුව සමූහ
කුමාරි දිසානායක