දෙපයින් ඇවිද යාමේ අපහසුතාවයකින් පෙළෙන පුද්ගලයකු කිලෝ මීටර් 300කට ආසන්න දුරක් ගෙවා අනුරාධපුරයේ සිට රෝද තුනේ බයිසිකලයකින් අත්වාරු ඇතිව මහනුවර දක්වා ගමන් කර, දළදා සමිඳුන් වැඳ පුදාගෙන නැවත පැමිණෙමින් සිටියදී අනුරාධපුර නගරයට ආසන්න නෙළුම්කුලම ප්රදේශයේදී අපට දැකගත හැකි විය.
ගලේවෙල පදිංචිව සිට දැනට අනුරාධපුර පූජා නගරයේ තාවකාලිකව පදිංචිව සිටින 68 හැවිරිදි උපසේන රාජපක්ෂ මහතා මෙලෙස දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන තිබුණි.
ඉකුත් 17 වැනිදා රුවන්මැලි සෑය අසලින් ගමන් ආරම්භ කළ ඒ මහතාට, දළදා වන්දනා කිරීමට දින නවයකට ආසන්න කාලයක් ගතව තිබුණි.
අනුරාධපුර රුවන්මැලි මහා සෑය අබියස සිට මහනුවර දළදා සමිඳු වන්දනාව යනුවෙන් පුවරුවක්, ට්රයිසිකලයේ සවිකර සූර්ය බලයෙන් ක්රියාත්මක කුඩා රේඩියෝවක සෙත් පිරිත් ප්රචාරය කරමින් ඒ මහතා මෙම වන්දනා චාරිකාවේ නිරතව සිටියේය.
මෙහිදී අප වෙත අදහස් දැක්වූ උපසේන රාජපක්ෂ මහතා.
“මට ඇවිදින්න බැරිව කකුල් දෙකට වාරු නැතුව බෙහෙත් කරමින් සිටියේ. දැනට අවුරුදු තුනක පමණ කාලයක ඉඳලා බෙහෙත් කරන්නේ නෑ. තරමක සුවයක් දැනෙනවා. දහමට මුල් තැන දෙමින් තමයි කටයුතු කරන්නේ, මේ ගමනත් ආරම්භ කරන විට මම සිතේ ප්රාර්ථනාවක් ඇති කර ගත්තා අනිවාර්යෙන් දළදා සමිඳුන් සියැසින් දැක වැඳ පුදා ගන්නවා කියලා. මේ ගමනට මට මාර්ගය දෙපස සිටි ගොඩක් අය උදව් කළා. සමහර කඳු සහිත ස්ථානවලින් බයිසිකලය තල්ලු කරලා දුන්නා, සමහරු ආහාර පාන ලබා දුන්නා. ඒ වගේම තමයි දළදා මාලිගාවේ ආරක්ෂක අංශයේ හිටපු නිලධාරීන් මට උදව් කළා. මේ ගමන සාර්ථක කර ගැනීමට උදව් කළ සියලු දෙනාටම බොහෝම ස්තුතිවන්ත වනවා.”
අනුරාධපුර සංචාරක බී.ජී. චතුරංග