Home » ආඩිගම නාගවිල කුකුළු ගොවිපොළට ජනතා විරෝධය!

ආඩිගම නාගවිල කුකුළු ගොවිපොළට ජනතා විරෝධය!

by sachintha
May 2, 2025 1:28 am 0 comment

ආඩිගම, නාගවිල ග්‍රාමයේ ජය මාවත ප්‍රදේශයේ ඉඩමක අලුතින් කුකුළු ගොවිපොළක් ආරම්භ කිරීමට සූදානමක් ඇතැයි ප්‍රකාශ කරමින් නාගවිල ප්‍රදේශවාසීන් පෙරේදා (30) විරෝධතා ව්‍යාපාරයකට එක් විය. එහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ අදාළ ඉඩම වටා පවුල් විශාල ප්‍රමාණයක් පදිංචිව සිටින හෙයින් කුකුළු ගොවිපොළක් දැමීම තුළින් තම දූ දරුවන්ට සහ පවුල්වල සියලුදෙනාට සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවයි. ජයමාවත භූමියේ කුකුළු ගොවිපොළක් ඉදිකිරීමට කටයුතු කරන්නේ නම් එය වහාම නැවැත්වීමට නිලධාරීන් මැදිහත් වන ලෙසයි.

අදාළ භූමිය වටා පවුල් රාශියක් ජීවත් වන හෙයින් පරිසරයට ගැළැපෙන පරිසර හිතකාමී කෘෂිකාර්මික කටයුත්තක් සඳහා අදාළ ඉඩම යොදාගෙන, ගම්වාසී ජනතාවගේ දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර කාර්යයක් ඉටු කරන ලෙස ජනතාව ඉඩම් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

නාගවිල ගොවි සංවිධානයේ සුගත් කහදවල මහතා අදහස් දක්වමින්,

“අපේ නාගවිල ගම්මානය විවිධ පරිසර ගැටලුවලට මුහුණපාන ගම්මානයක්. ගම බේරගන්න පුදුම වෙහෙසක් දරන්න සිදුවෙලා තියෙනවා. එක පැත්තකින් බොරලු කපනවා. අනිත් පැත්තෙන් කුකුළු ගොවිපොළ දානවා. ගමට පරිසර ප්‍රශ්න රැසයි. හැම තැනම කුකුල් ගොවිපොළ දැම්මහම දරුවෝ, මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? වටේම ගෙවල් තියෙන පරිසරයක් තියෙන්නේ. දරුවන්ට හුස්ම අරගෙන ජීවත් වෙන්න විදිහක් නැතුව යනවා. අද මෙතනට නිලධාරීන් රැසක් ආවා. ඒ නිලධාරීන්ට අපි කිවුවේ මේ කුකුළු ගොවිපොළ දැමීම වහාම නවත්තලා කෘෂිකාර්මික බිමක් බවට ප්‍රදේශයටත් ගමටත් ජනතාවටත් හිතකරව ආදායම් උපයා ගන්න උපදෙස් දෙන්න කියලයි.”

නාගවිල ඩබ්ලිව්. ප්‍රදීපිකා නිශාදිනී තම අදහස් දක්වමින්, “පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාගවිල ජයමාවතේ අදාළ භූමිය වටා නිවාස රාශියක් තිබෙනවා. ඒ වගේම ඉඩම කෙළවරක නාගවිල වැව පිහිටා තිබෙනවා. වර්ෂා කාලයට ජලය ගලාගෙන යන්නේ වැවට. අපද්‍රව්‍ය සියල්ල වැවට යොමු වෙන්න ඉඩකඩ තියෙනවා. ප්‍රදේශය පුරා දුර්ගන්ධය පැතිරෙන්න පුළුවන්. අවට ජීවත්වන දරුවන්ට විවිධ රෝගාබාධ හට ගැනීමට ඉඩකඩ තියෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ, ජයමාවත භූමිය තුළ අලුතින් කුකුළු ගොවිපොළක් ඉදිකිරීමට සූදානම් වනවා නම් ඒ සඳහා ඉඩ නොදෙන ලෙසයි. මේ ප්‍රදේශය ගොවිතැනට සුදුසු ප්‍රදේශයක් නිසා කෘෂිකාර්මික කටයුත්තක නියැළෙන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. නිලධාරීන් ජනතාව වෙනුවෙන් මැදිහත්ව සාධාරණය ඉටු කරයි කියලා අපි විශ්වාස කරනවා.”

ආඩිගම සමූහ

ඊ.එම්.එම්. දේවසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT