Home » වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා

by sachintha
May 2, 2025 1:30 am 0 comment

කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජයමහ මහත්මියටද සිහිවටන ත්‍යාගයක් විදුහල්පති පී.එස්. සෙනවිරත්න මහතා ප්‍රදානය කළ අයුරු සහ පැමිණ සිටි පිරිස.

හැකියාවක් ඇති සිසුන් සේම හැකියාවක් නැති සියලු දෙනාමත් ඇගයීමට ලක් කොට ත්‍යාග ලබා දීමෙන් උත්සාහයක් නැති දරුවන් පවා හෙට දිනයේ අභියෝගවලට මුහුණ දීමට අදිටන් ගනු ඇතැයි වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජේ.ඒ.එම්.පී. ජයතිලක මහත්මිය පැවසුවාය.

කුරුණෑගල නගර සීමාවේ පිහිටි අස්වැද්දුම විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම දරුවන්, ගුරුවරු හා ප්‍රජාව ඇගයීමට ලක් කොට ත්‍යාග ලබාදීම ඉකුත් 29 වැනිදා පාසලේ පැවති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසට එක්වෙමින් ඇය එසේ පැවැසුවාය.

එහිදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය.

“පාසලක විදුහල්පති ගුරුවරු මෙන්ම මවුපියන් ද එම පාසලේ දරුවන් ඉගෙනීමෙන්, ක්‍රීඩාවෙන්, අන් හැකියාවන් අතරින් ඉදිරියට යවන්නට නිරතුරුවම කැප කිරීම් කරනවා. ඒ තුළින් කොට්ඨාසය, කලාපය, පළාත් අතරින් සමස්ත ලංකා මට්ටමට යමින් දක්වන සුවිශේෂී ජයග්‍රහණයන් තුළින් බාහිර ක්‍රියාකාරකම්වලට අමතරව පහේ ශිෂ්‍යත්වයෙන්, සාමාන්‍ය පෙළින් කප් ගසන්නට හැකි වූ අපේ දරුවන්ට මෙවර මුල් වතාවට උසස් පෙළ අතරින් ලංකාවෙන්ම පළමු තැන වයඹට අත්පත් කර ගන්නට හැකි වී තිබෙනවා. ජාතික මට්ටමේ ප්‍රතිඵලය 64%ක් වනවිට අපේ ප්‍රතිශතය 66.39%ක් වෙනවා. ජාතික මට්ටමේ පළාත් පහ අතරින්ද වයඹ අපි ඉන්නේ පළමු තැනට කියලා මම ආඩම්බරයෙන් යුතුව කියනවා.

එලෙස සියලුදෙනාගේ සහයෝගය හා කැපවීම අතරින් ලද මෙම ජයග්‍රහණය එකෙකු ලද ජයග්‍රහණයක් නෙමෙයි. ඒ සඳහා විදුහල්පතිවරු ඇතුළු ගුරුවරු, ගුරු උපදේශකවරුන්, අධ්‍යාපන නිලධාරීන්, මවුපියන්, සුබ පතන්නන් මෙන්ම ප්‍රජාව පවා උදවු උපකාර කළ නිසා තමයි දරුවන්ගේ දක්ෂතාව හා කුසලතා අතරින් මෙවැනි තැනකට යාමට හැකි වුණේ. අපි ප්‍රතිඵලය අතරින් ලංකාවෙන්ම පළමුවෙනියා වුණත් ප්‍රතිශතය අඩුවෙලා නම් ඒ ලද ජයග්‍රහණයෙන් වැඩක් නෑ. ඒ නිසා ප්‍රතිශතයත් වර්ධනය කරගෙන ඉදිරියේදීත් මේ අභිමානය රැක ගන්නට උගත් වැඩිහිටි සියලු දෙනාගේම ඇප කැපවීම නිරතුරුවම අපිට අවශ්‍යයි.

දරුවන් බරට බරේ තෑගි අරගෙන ඒවා තුරුලු කරගෙන සිටිනා අයුරු දෙස බලන විට හැකියාවක් නැති දරුවන් පවා සිත් තැවුල්වලින් තොරව වාඩි වී සිටින්නේ ලබන වසරේ හැකියාව අතරින් පෙරට එන්නට සිතමින් මෙන්ය. ඒ බව ඒ හැඟුම්බර මුහුණුවලින්ම පේනවා.

මෙහිදී දරුවන්ට විතරක් නෙමෙයි ගුරුවරුන්ටත්, බාහිර ප්‍රජාවට මෙන්ම ආරාධිත අපිවත් ඇගයීමට ලක් කොට ත්‍යාග ලබා දුන්නා. දුන් ත්‍යාගයේ වටිනාකම දෙස නොව ඇගයීමට ලක් කොට දුන් ත්‍යාගය සිහිවටනයක් සේ තබා ගන්න. දරුවන්ට එවන් ත්‍යාග තව තවත් ලබන්නට අදිටන් ගන්න. ඒ අදිටනෙහි ජය මාවත දකින්නට මවුපියන් ඔවුනට දිරියක් දෙන්න.”

කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස් ඒ.පී.එස්. ජයමහ මහත්මියද අදහස් දැක්වූවාය.

පොල්පිතිගම සමූහ – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT