හොරණ, කහටපිටිය වසමත්, කනන්විල වසමත් යා කරන එබු ඇළ හරහා වැටී ඇති ලෑලි පාලම වෙනුවට ඉදිකිරීම් ආරම්භ කළ නව පාලමේ වැඩ වසර හතක පමණ කාලයක සිට නතර වී ඇති බව ජනතාව පවසති.
එම පාලම අසලම අබලන් පැරණි ලෑලි පාලම ඇතත් වාහනයක් ගමන් කිරීමට අසීරු බව ඔවුහු පෙන්වා දෙති.
හොරණ – පාදුක්ක ප්රධාන මාර්ගයට ඇති කෙටිම මාර්ගය මෙය වන අතර මෙම පාලම නොමැති වීමෙන් කි.මී. 05ක් පමණ දුර වටරවුමේ වාහනයක් පැමිණීමට සිදුවීම කනගාටුවට කරුණකි.
75 හැවිරිදි ඩී.එම්. ඉසුරුපාල මහතා “ඔය පාලම කහටපිටියයි කනන්විලයි යා කරන වෙල හරහා ඇති පාලම. ඇළවල් දෙකක් හරහා තමයි ගමට එන අඩි පාර වැටිලා තිබුණේ. සමස්ත ලංකා ග්රාමසේවා සංගමයේ සභාපති විදිහට කටයුතු කරපු අබේසිංහ රාලහාමි තමයි අසූ ගණන්වලදී පාර හදන්න මුල් වුණේ. ඒ කාලේ ඉඳල තමයි ඇළ හරහා ලෑලි පාලම හදාගත්තෙ. ඒක දැන් හොඳටම අබලන්. ඒ වෙනුවට පාලමට අඩි කිහිපයක් ඈතින් අලුත් පාලම හදන්න පටන් ගත්තෙ. 2018 දී ඒක අඩි 24ක් විතර පළලයි. දිග අඩි 16ක් විතර ඇති. දෙපැත්තේ බැමි දෙක ඇළේ මට්ටමට බැඳල නතර කරලයි තියෙන්නේ. පාරට වඩා තුන් ගුණයක් විතර පාලම පළලයි. ඒ හින්දා මෙතනට ලොකු වාහනයක් එන්න අමාරුයි. පාලම හදන්න ඕනෑ කරන බඩු එතනට ගේන්න අපහසුයි. හොරණ ප්රාදේශීය සභාව, ආයුර්වේදෙ, සමුපකාරෙ, ප්රාදේශීය ලේකම් කාර්යාලය, පන්සල, ඉස්කෝලේ, බැංකුව වගේම හොරණ, පාදුක්ක නගරවලට යන්න අපි පාරට යන්න ඕනෑ මේ පාලම හරහායි. පාලමේ වැඩ ඉක්මන් කරගන්න තමයි අපිට වුවමනා වෙන්නේ.”
හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ