Home » නුවනිඳු-පවන් සහ පසිඳුගෙන් ශතක

නුවනිඳු-පවන් සහ පසිඳුගෙන් ශතක

-ඇෆ්ගන් ‘ඒ’ පිලට ලකුණු 615ක ඉලක්කයක්

by sachintha
May 2, 2025 1:31 am 0 comment

සත්කාරක ඇෆගනිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව අබුඩාබියේ පැවැත්වෙන එකම සිවුදින නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශතක රැස් කිරීමට නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක සහ නායක පසිඳු සූරියබණ්ඩාර සමත් වූහ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 376ක් රැස් කළ අතර, ප්‍රතිවාදීන්ට ලකුණු 615ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් දෙමින් ඉනිම අත්හිටුවීය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිමට ලකුණු 406ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඇෆ්ගන් ‘ඒ’ පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 168ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 238ක පළමු ඉනිමේ වාසියක් අත්විය.

දැවැන්ත ඉලක්කය හඹා යන ඇෆ්ගන් ‘ඒ’ පිල ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට ලකුණු 3කට කඩුලු 132ක් දැවී අසීරු තත්ත්වයක පසු වූයේ ජයග්‍රාහී ඉලක්කයට තවත් ලකුණු 483ක් පසුපසින් සිටිමිනි. මුළු ලකුණු 27දී ඇෆ්ගන් පිලට තෙවැනි කඩුල්ල අහිමි වුවද දිනය නිමා වන විට ඩාර්විෂ් රසූලි සහ අෆ්සාර් සසායි එක්ව ලකුණු 105ක සබඳතාවක් ගොඩනඟමින් නොදැවී කඩුලේලේ රැඳී සිටියහ. ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ශතකයක් ලහිරු උදාර දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය අතර, දෙවැනි කඩුල්ලට ලකුණු 138ක සබඳතාවක් ගොඩනැඟීමට කමිල් මිෂාර සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වූහ. කමිල් ලකුණු 53කට දැවී ගිය අතර, නුවනිඳු පන්දු 123කින් ලකුණු 102ක් රැස් කළේ හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ලකුණු 187කට කඩුලු 4ක් දැවී තිබියදී නායක පසිඳු සූරියබණ්ඩාර සමඟ එක්වූ පවන් රත්නායක ලකුණු 289ක සබඳතාවක් ගොඩනැඟූ අතර, දෙදෙනාම ශතක රැස් කිරීමත් සමඟ මුළු ලකුණු 376දී ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීය.

පසිඳු පන්දු 133කදී හතරේ පහර 8ක් එල්ල කළ අතර, පවන් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග මුහුණ දුන්නේ පන්දු 106කට පමණි. අද තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 406 (ඕවර 100.2) ලහිරු උදාර 109, සොනාල් දිනූෂ නොදැවී 104, සදීර සමරවික්‍රම 44, කමිල් මිෂාර 35 (බෂීර් අහමඩ් 77/3, සියාඋර් රහ්මාන් 93/2) සහ දෙවැනි ඉනිම – 376/4 (ඕවර 79) ඉනිම අත්හිටුවන ලදි. නුවනිඳු ප්‍රනාන්දු 102, පවන් රත්නායක නොදැවී 100, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 100

ඇෆ්ගන් ‘ඒ’ පළමු ඉනිම – 168 (ඕවර 46.5) අෆ්සාර් සසායි 54 (ඉසිත විජේසුන්දර 35/6, තරිඳු රත්නායක 26/3) සහ දෙවැනි ඉනිම – 132/3 (ඕවර 34) ඩාර්විෂ් රසූලි නොදැවී 59, අෆ්සාර් සසායි නොදැවී 51 (ඉසිත විජේසුන්දර 34/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT