Home » චෙන්නායි 8 වැනි තරගයත් පරදී

චෙන්නායි 8 වැනි තරගයත් පරදී

by sachintha
May 2, 2025 12:32 am 0 comment

මෙවර අයිපීඑල් තරගාවලියේ ජයග්‍රහණ හිඟයකින් පෙළෙන චෙන්නායි සුපර් කිංග්ස් පිලට 8 වැනි පරාජයත් අත්කර දීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පෙරේදා සමත් විය. චෙන්නායිහිදී පැවති තරගාවලියේ 49 වැනි තරගයේදී පන්ජාබ් පිල කඩුලු 4කින් ජයගත් අතර, ඒ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වීමට ද ඔවුන්ට හැකි විණි. චෙන්නායි පිල 8 වැනි වරට පරාජය වූයේ සිය 10 වැනි තරගයේදීය.

පළමුව පන්දුවට පහර දෙමින් චෙන්නායි පිල දුන් ලකුණු 191ක ඉලක්කය හඹා ගිය පන්ජාබ් පිල පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය සපුරා ගැනීමට සමත් විය.

නායක ශ්‍රේයාස් අයියර් පන්දු 41කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 72ක් රැස් කරමින් පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ප්‍රභ්සිරාන් සිං ලකුණු 54ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී කලීල් අහමඩ් සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවා ගත්හ. පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල වෙනුවෙන් සෑම් කරන් ලකුණු 88ක් රැස් කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 47කිනි. ඩෙවල්ඩ් බ්රේව්ස් ලකුණු 32ක් ඉනිමට එක් කළ අතර, කඩුලු ත්‍රිත්වයක් ද සමඟ කඩුලු 4ක් බිඳ දැමීමට යුෂ්වේන්ද්‍ර චාහල් සමත් විය. චෙන්නායි ඉනිමේ 19 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් මහේන්ද්‍ර සිං දෝනි (11) දවාගත් චාහල්, අනතුරුව සිවුවැනි, 5 වැනි සහ 6 වැනි පන්දුවලින් පිළිවෙළින් දීපක් හූඩා, අන්ෂුල් කම්බෝජ් සහ නූර් අහමඩ් දවා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT