Home » 5 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්‍ෂක සංවාදය සාර්ථකව අවසන් කෙරේ

5 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්‍ෂක සංවාදය සාර්ථකව අවසන් කෙරේ

by yasara
May 4, 2025 10:58 am 0 comment

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන සාමූහික කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, 5 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පසුගිය බදාද‍ා (අප්‍රේල් 30) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී සාර්ථකව අවසන් විය.

දෙරටේ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සදුදා (අප්‍රේල් 28) ආරම්භ වූ මෙම සාකච්ඡා ඔස්සේ දෙරට අතර පවතින ආරක්‍ෂක සබඳතා සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා යොදා ගත හැකි නව මාර්ග ගවේෂණය කිරීමට අවස්ථාව උදා විය.

මෙවර පැවති තෙදින සංවාදයේ සමාප්තිය සනිටුහන් කරමින් ඊට සමගාමීව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස පාකිස්ථානයේ ප්‍රධාන ආරක්‍ෂක සහ කාර්මික නිශ්පාදන ආයතන කිහිපයක නිල සංචාරවල ද නිරත විය.

ඒ අනුව පසුගිය අගහරුවදා (අප්‍රේල් 29) ශ්‍රී ලංකා දූත පිරිස පාකිස්ථානයේ ප්‍රමුඛතම රාජ්‍ය ආරක්‍ෂක ව්‍යවසායක ආයතන දෙකක් වන පන්ජාබ් හි Heavy Industries Taxila සහ Khyber-Pakhtunkhwa හි පිහිටි එරට ජාතික ගුවන් විදුලි සහ විදුලි සංදේශ සංස්ථාව යන ස්ථානවල සංචාරයේ නිරත වූහ.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ජයන්ත එදිරිසිංහ මහතා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීරඇතුළු මෙරට ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද එක් වූහ.

එහිදී දෙරටේ දූත පිරිස අතර පුළුල් සාකච්ඡා වට කිහිපයක් පැවති අතර නිරීක්‍ෂණ චාරිකා වල ද නිරත වීමෙන් පාකිස්ථානයේ දේශීය ආරක්‍ෂක නිෂ්පාදන හැකියාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් වැඩිදියුණු කළ තාක්‍ෂණික සහයෝගීතාව සහ දැනුම හුවමාරුව සඳහා වන අවස්ථා ගවේෂණය කළහ. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා හවුල්කාරිත්වය පිළිබිඹු කෙරුණු මෙම සංවාදයේ සාර්ථක අවසානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය සිකුරාදා (මැයි 02) දින නැවත සිය රට බලා පැමිණියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT