Home » දිල්ශාන්ට වද දුන් සිසුහු 15ක් හඳුනා ගැනෙති
සබරගමු සිසුවාගේ මරණය:

දිල්ශාන්ට වද දුන් සිසුහු 15ක් හඳුනා ගැනෙති

- 4ක් අත්අඩංගුවට

by sachintha
May 5, 2025 1:00 am 0 comment

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටිය දී සියදිවි හානි කර ගත් චරිත් දිල්ශාන් (23) සිසුවාට නවක වදය දුන් බව කියන සිසුන් 15 දෙනකුගේ පමණ තොරතුරු හෙළිව තිබෙන අතර තෙවැනි වසරේ සිසුන් 4ක් අත්අඩංගුවට ගෙන ඇත. චරිත් දිල්ශාන් සිසුවාට නවක වදය දෙන අයුරු ඇසින් දුටු සිසුන් 20 දෙනෙක් මේ වනවිට සමනලවැව පොලීසියට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. එම ප්‍රකාශවලින්ද චරිත් දිල්ශාන් සිසුවාට නවක වදය ලබාදුන් ඉහළ වසරවල සිසුන්ගේ තොරතුරු නම්, ගම් සහිතව හෙළිවී ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය. මේ තත්ත්වය මත පෙරේදා (03) සිට ඉදිරි විමර්ශන වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. විෂාදය හේතුවෙන් මෙම සිසුවා මියගොස් ඇති බව මෙම මරණය සම්බන්ධයෙන් මුලින් කියැවුණ ද සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන දෙවැනි වසරේ සිසුවෙක් පසුගිය 29 වැනිදා සමනලවැව පොලීසියට ගොස් මියගිය සිසුවාට ඉහළ වසරවල සිසුන් විසින් ලබාදුන් නවක වදයක් ගැන කළ පැමිණිල්ලක් සමඟ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය. එම පැමිණිල්ල කළ සිසුවා, මියගිය සිසුවාගේ දේහය තැන්පත් කර තිබුණු නි‍ෙවසට ගොස් ඒ ගැන මියගිය සිසුවාගේ මවුපියන් ද දැනුම්වත් කර තිබේ.

ඒ අනුව සිසුවාගේ පියා විසින් සිය දරුවාගේ මරණය නවක වදය හේතුවෙන් සිදුවූවක් බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පුස්සැල්ලාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ලට අදාළ සාක්ෂියක් ලෙස සමනලවැව පොලීසියට පැමිණිල්ල කළ සිසුවාගෙන් ද පුස්සැල්ලාව පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත්තේය.

සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනයත් සමඟ පසුගිය 02 වැනිදා සමනලවැව පොලිස් ස්ථානයට පැමිණි සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුන් 20 දෙනෙක් මියගිය සිසුවාට නවක වදය දෙන අයුරු තමන් ඇසින් දුටු බව මෙන්ම නවක වදය දුන් සිසුන් සම්බන්ධයෙන් යම් හෙළිදරව්වක් කර තිබේ. ඒ අනුව එම සිසුන්ගේ ප්‍රකාශ ද පොලීසිය සටහන් කරගෙන ඇත. මෙම සිසුවා සියදිවි හානිකර ගැනීමට පෙර ලියූ ලිපියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ඔහු දැඩි මානසික පීඩනයකින් කාලයක්ම පීඩා විඳ ඇති බව එම ලිපියෙන් තහවුරු වන බව පොලීසිය සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT