Home » මඟ දෙපස-කඩ පුරා වෙසක් සිරි ගෙනෙන්නට දිවා රෑ වෙහෙසෙන වෙසක් සැරසිලි නිෂ්පාදකයෝ

මඟ දෙපස-කඩ පුරා වෙසක් සිරි ගෙනෙන්නට දිවා රෑ වෙහෙසෙන වෙසක් සැරසිලි නිෂ්පාදකයෝ

-මේ පාර අමුද්‍රව්‍ය මිල අඩු වීම සහනයක්

by sachintha
May 5, 2025 1:24 am 0 comment

වෙසක් පොහෝ දින ළං වෙත්ම නගරබද මෙන්ම ගම්බද වෙළෙඳසල් පමණක් නොව, නගරබද මාර්ග දෙපස ද වෙසක් සැරසිලි භාණ්ඩවලින් පිරී ඉතිරී යයි. එමෙන්ම වෙසක් පොහෝ දින රාත්‍රියේ සෑම බෞද්ධ නිවෙසකම වෙසක් පහන් කූඩු දැල්වෙන බව අපි දැක ඇත්තෙමු. මේ අයුරින් දල්වන වෙසක් පහන් කූඩු සාදන්නේ කවුරුන් විසින් ද, ඒ මොන ආකාරයෙන් දැයි සොයා බැලීමට අපට සිත් විය. අම්බලන්ගොඩ නගරයට ආසන්නයේ පිහිටි වේනමුල්ල, දිඹුල්දූව, වැල්ලබඩ සහ මැදදූව යන ගම්මානවල ඈත කාලයේ සිටම විවිධ වර්ගයේ වෙසක් පහන් කූඩු කර්මාන්තයේ යෙදුණු පිරිස් ජීවත් වූහ. ඔවුන්ගෙන් පැවත එන පිරිසක් සහ අලුතින් එම කර්මාන්තයට එක් වූ පිරිසක් ද මෙම ගම්මානවල සිටිති. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු සොයා ගොස් මෙම කර්මාන්තය පිළිබඳ තොරතුරු අපි සොයා බැලුවෙමු.

අප ප්‍රථමයෙන්ම මුණ ගැසුණු එච්. නිශාන්ත මහතා තම ව්‍යාපාරය ගැන පැවසුවේ මෙවන් කතාවකි.

“මම මේ කර්මාන්තය ඉගෙන ගත්තේ මගේ පියාගෙන්. පියාගේ අභාවයෙන් පසුව මම මේ කර්මාන්තයේ දිගටම යෙදී සිටිනවා. ඒ දැනට වසර විස්සකට පෙර සිටයි. මේ කර්මාන්තයට අවශ්‍ය කාඩ්බෝඩ්, විවිධ වර්ණයෙන් යුත් කඩදාසි, යකඩ කම්බි හා ඉටිපන්දම් රඳවන ආදී සෑම දෙයක්ම අපි මිලදී ගන්නේ කොළඹ නගරයේ තොග වෙළෙන්දන්ගෙනුයි. ඊට පසු වෙසක් පෝයට මාස අටක් පමණ තිබියදී අපි වෙසක් පහන් කූඩු හදන්න පටන් ගන්නවා. රැලි බකට්, බම්බු බකට්, කැටයම් සහිත නොයෙක් වර්ණවලින් හා විවිධ හැඩයේ වෙසක් පහන් කූඩු අපි හදනවා. ඒවාට අවශ්‍ය කැටයම් කපන්න අපි ළඟ මැෂින් නැහැ. මැෂින් තියෙන වෙනත් තැන්වලට ගිහින් මුදල් ගෙවල ඒව අපිට අවශ්‍ය විදිහට කපා ගන්නවා. වැඩ කරන අයට පඩි ගෙවන්න ඕනෑ. අපේ නිෂ්පාදන රට වටේම තියන තොග වෙළෙඳසල්වලට රැගෙන යනවා. ඒවාට අපට මුදල් ලැබෙන්නෙ වෙසක් උත්සවයෙන් පසුවයි. මේක තමයි අපට මුහුණපාන්න තියන ලොකුම ප්‍රශ්නය.”

වේනමුල්ලේ වෙසක් පහන් කූඩු සාදන තවත් අයකු වන එච්.ඩබ්ලිව්. තුෂාර ප්‍රශන්න මහතා තම ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

“මම මේ කර්මාන්තය ආරම්භ කොට වසර විසි පහක් පමණ වෙනවා. මේ වර්ෂයේ නම් වෙසක් පහන් කූඩු හදන්න අවශ්‍ය කරන කාඩ්බෝඩ්, පිටරටින් ගෙන්වන විවිධ වර්ගයේ කඩදාසී වර්ගවල මිල සෑහෙන ප්‍රමාණයකින් අඩුවී තිබෙනවා. ඒක අපට ලොකු දෙයක්. නමුත් අපි ළඟ වැඩ කරන විස්සක පමණ පිරිසකට පඩි ගෙවීමේදී එදාට වඩා වැඩි මුදලක් වැය කරන්න සිදුව තිබෙනවා. ඒ වගේමයි ප්‍රවාහන ගාස්තු. මේ කර්මාන්ත දියුණු කරන්න නම් මේ කර්මාන්තයට අවශ්‍ය කරන සෑම දෙයක්ම රජයේ මැදිහත් වීමෙන් පිටරටින් ගෙන්වා අපට ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ කර්මාන්තයේ යෙදී සිටින පිරිසට එය විශාල සහනයක් වෙනවා. මෙම කර්මාන්තය මෙයට වඩා දියුණු තත්ත්වයට ඔසවා තැබීමට එමඟින් හැකියාව ලැබෙනවා.” දැනටමත් වෙසක් පහන් කූඩු සෑදීම තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් කරගෙන තිබෙන බවත්, තම ගම්වැසියන් සිය නිවෙස් තුළ වෙසක් පහන් කූඩු සාදමින් සෑහෙන මුදලක් උපයා ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ තුෂාර මහතා කියා සිටියේය.

එච්. ටයිඩර් ප්‍රනාන්දු මහතා ද කාලයක සිට මෙම කර්මාන්තයේ යෙදී සිටින අයෙකි.

ඔහු ඒ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.

“මෙයට වසර කිහිපයකට ඉහතදී වෙසක් පහන් කූඩු චීනයෙන් ගෙන්වන්න පටන් ගත්තා. ඒ නිසා අපේ කර්මාන්තයට විශාල පහරක් වැදුණා. මේ වන විට එය නතරවී තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. අපේ කර්මාන්තයට අවශ්‍ය මැෂින් රජයේ මැදිහත්වීමෙන් පිටරටින් ගෙන්වා අපට ලබා දී ඒ මුදල් කොටස් වශයෙන් අපෙන් අය කර ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් චීනයේ නිෂ්පාදනය කරන වෙසක් පහන් කූඩුවලට වඩා උසස් තත්ත්වයේ වෙසක් පහන් කූඩු අපටත් හදන්න පුළුවන්.”

අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT