ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 339කට සභිකයන් තෝරා ගැනීම සඳහා වන මැතිවරණය අද දිනයේදී පැවැත්වෙයි. මෙය ශ්‍රී ලංකාවෙහි 17 වැනි පළාත් පාලන මැතිවරණයයි. මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් සඳහා එහිදී සභිකයන් තෝරා ගැනීමට නියමිත ය.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2018 වසරේදී ය. ඊළඟට යළිත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වසරේදී ය. ආර්ථික අර්බුදය හා වෙනත් දේශපාලනික හේතු ඉදිරිපත් කරමින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දමන ලදි.
2025 වසරේදී ජාතික ජන බලවේග රජය යටතේ පවත්වනුයේ එම කල්දමන ලද පළාත් පාලන මැතිවරණයයි. නියමිත කාලසීමාව තුළ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බවත් වරින්වර ජනතා මතය පිළිබිඹු වීම නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණය බවත් අපි ඉතා හොඳින් දන්නා කාරණයකි.
පළාත් පාලන මැතිවරණය සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්නොකිරීමත්, රජය මුද්‍රණාලයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් වෙන්නොකිරීමත් හේතුකොටගෙන 2023 පෙබරවාරි 24 වැනිදා පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කල්දමනු ලැබීය.
2024 අගෝස්තු 22 වැනිදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියම කළ පරිදි පැවැත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ එවකට මුදල් අමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ එවැනි දීර්ඝ, සංකීර්ණවූ ක්‍රියාවලියකින් අනතුරුව ය.
අද දිනයේදී පැවැත්වෙන මැතිවරණය පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සහ ඒවායේ නියෝජිතයෝ විවිධ කතා ප්‍රකාශ කරති. නමුත් වසර 7කට පසු පැවැත්වෙන මෙවර මැතිවරණය ශ්‍රී ලාංකේය දේශපාලනයේ තවත් සුවිශේෂී දිශානතියක් සනිටුහන් කරගැනීමේ අවස්ථාවක් බව අපි සටහන් කොට තබමු.
පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර හා සමානුපාතික ක්‍රමවේදය අනුව ය. ඒ අනුව කොට්ඨාස මට්ටමින් නියෝජිතයන් 60%ක් සහ සමානුපාතික මට්ටමින් නියෝජිතයන් 40%ක් තෝරා ගැනෙයි.
ප්‍රාදේශීය සභා සහ නගර සභා පිළිබඳව පොදු ජනතාවගේ හැඳින්වීම සඳහන් වන්නේ Òගමේ ආණ්ඩුවÓ ලෙසයි. එසේනම් ගමේ ආණ්ඩුව යනු ගමේ ජනතා ප්‍රශ්න හඳුනාගෙන එයට විසඳුම් ලබා දෙන ආයතනය මිසක ජාතික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන ආයතනයක් නොවේ.
සංවර්ධනයේ මූලික තැනුම් ඒකකය ලෙස හඳුනා ගන්නේ ග්‍රාමීය සංවර්ධනයයි. එම නිසා ජාතික සංවර්ධනයට අදාළ මූලබීජය සහ අදාළ පසුබිම සකස් වනුයේ මෙම ග්‍රාමීය සභා තුළිනි. එම නිසා ග්‍රාමීය සභාවලට නැතිනම් ගමේ ආණ්ඩුවලට තෝරා පත්කරගත යුතුව ඇත්තේ ගම පිළිබඳ නිවැරදි හැඟීමකින් යුක්ත පිරිසකි.
දූෂණය, වංචාව සහ අක්‍රමිකතාව ඉහළින්ම සිදු වන ආයතන ලෙස මෙකී රාජ්‍ය ආයතන මෙපමණ කලක් හැඳින්වූ අතර, එකී නරක, අපැහැදිලි කළු චිත්‍රය වෙනස් කර ගැනීමට මෙවර මැතිවරණය වේදිකාවක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ග්‍රාමීය සමාජයේ ජනතාව හා ඔවුන්ගේ අවශ්‍යතා සමඟ වඩාත් හොඳින් සමීප වූ ඔවුන් සමඟ එකපෙළට සිටගත හැකි නියෝජිත ප්‍රජාවක් මෙකී සභාවලට පත්කරගැනීම කාලීන අවශ්‍යතාවකි. එම ජාතික සංවර්ධන අවශ්‍යතා මැනවින් හඳුනාගත හැකිවීම අත්‍යවශ්‍ය කාරණයකි. එනම් ගතානුගතික සාම්ප්‍රදායික දක්‍ෂිණාශික දේශපාලනය මැතිවරණ දෙකකින්ම ප්‍රතික්ෂේප වී හමාර ය.
එම දේශපාලනික සංඥාව අවබෝධ කොටගැනීම අතිශය වැදගත් ය. එම නිසා මෙවර මැතිවරණයේදී පැරණි දේශපාලනික සටන්පාඨ සහ පැරණි මාදිලියේ දේශපාලනය තවදුරටත් වලංගු නොවනු ඇත.
එසේනම් 1947 මහ නගර සභා ආඥා පනත, 1939 නගර සභා ආඥා පනත, 1987 ප්‍රාදේශීය සභා ආඥා පනත යනාදී සියල්ලෙහි ඇති බලතල උපයෝගී කොටගෙන ප්‍රාදේශීය ජනතාවට සේවය කරන සභා පිහිටුවා ගැනීමට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා පළ කරමු.
අදාළ ප්‍රදේශවල ජනතාවට පරිපාලන හා නියාමන සේවා, මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය, පාරිසරික ආරක්ෂාව, පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙනයෑම නිසි ලෙස කළමනාකරණය කරගත් ජනතා සුබසිද්ධිය උදෙසා වන පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට සහ ඒවාට ගැළපෙන මහජන නියෝජිතයන් පත් කරගැනීමට අදාළ දේශපාලනික සබුද්ධිකභාවය මෙරට ඡන්ද හිමි ජනතාවට ඇතැයි අපි අපේක්ෂා කරමු.
මෙපමණ කාලයක් දූෂිතයන්ගේ රජදහනක් බවට පත්ව තිබූ පළාත් පාලන ආයතන ඉන් මුදාගැනීමටත්, සැබෑ ජනතා අවශ්‍යතා හඳුනාගෙන එයට විසඳුම් සපයන සභා බවට පත් කරගැනීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.
පාපැදියක්වත් නොමැතිව පළාත් පාලන ආයතනවල මැතිවරණවලට ඉදිරිපත් වන්නා සිය ධුර කාලයෙන් අනතුරුව කෝටි ප්‍රකෝටිපතියන් වන ක්‍රමවේදය හමාර කළ යුතුව ඇත. එවැනි අයථා මුදල් උපයාගත් අය සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද කාලීන අවශ්‍යතාවක්ව පවතියි.
මෙවර පළාත් පාලන මැතිවරණය ඒ සඳහා පළමු පියවර තබන මැතිවරණය වනු ඇතැයි මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවගේ ප්‍රාර්ථනය ද වනු ඇත.