චිත්‍රපටයේ පෙන්නන්නෙ තල කිහිපෙක ගේම්කාරයෝ කට්ටියක්. එක තලයක ඉන්නවා වාලම්පුරියට විතරක් නෙමේ තවත් එවැනි වස්තුවලට කෝටි ගණන් ගෙවන්න පුළුවන් ඉහළ සල්ලිකාරයෝ. ඒ ඉහළම සල්ලිකාර ස්තරයට දරුණුම පාතාල සම්බන්ධතාත් ආයුධ හා ඩිෆෙන්ඩර් වැනි වාහන යනාදී ඉහළම උපකරණ තියෙනවා. ඒ පාදඩ ධනපති ස්තරයට ඉහළම දේශපාලන සම්බන්ධතා තියෙනවා. ඒක හරියට රනිල්ලා වැනි ඊනියා ප්‍රභූ දේශපාලකයන්ගේ නායකත්වය යටතේ පවතින පශ්චාත් යටත්විජිත දේශපාලන – ආර්ථික තන්ත්‍රය වගේ. හොඳට ටයිකෝට් දාලා හිටියට ඒ ප්‍රභූ තන්ත්‍රය ශ්‍රීනේරු කෙනෙක් බිහිකරපු පන්තියක් නෙමේ. නීති විරෝධී ඝාතන කල්ලි අසල ගෙයක මිනී මරන හඬ ඇසී නිර්මානුෂික – දේශපාලන මැෂින් තමයි ඒ පන්තිය වැඩි වශයෙන් බිහි කළේ. අදත් ඒ පන්තියට ශෂී තරූර් කෙනෙක් නෑ (විජයවර්ධන පවුල්වල දැන් ඉන්න අය නිකමට බලන්න.)
ඊළඟට වාලම්පුරියෙ ඉන්නවා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයෝ සහ දේශපාලකයෝ. ඒ අයත් ගේමක් ගහන්න බලන අය. තුමිඳු දොඩන්තැන්නගෙ චරිතය ඒ ජාතියෙ අය. ඔහුට රෙදි කඩ අරව මේවා තියෙනවා කිව්වට අපි ඒවා දකින්නෙ නෑ.
ඊළඟට ඉන්නවා නිලධාරි තන්ත්‍රය. පොලිස් පරීක්ෂකවරයෙක් හෝ නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙක් වන සමන්. ඔහු වැනි අයත් දන්නවා රටේ තියෙන්නෙ ඩීල්කාර දේශපාලන ආර්ථිකයක් කියලා. ඒ ආර්ථියකයට ඩීල් එකකින් සෙට් වෙන එක තමයි ගොඩයන්න තියෙන ක්‍රමය බව ඔවුන් හිතන්නේ.
උඩ කට්ටියත්, ඊළඟ කට්ටියත් කිසිම නිෂ්පාදන ආර්ථිකයක කොටස්කාරයෝ නෙමේ. ඩීල් ආර්ථිකයක කොටස්කාරයෝ. ටාටලා අම්බානිලා වගේ අය නෙමේ. මොකවත් නිෂ්පාදනය නොකරන ඩීල් ආර්ථිකයක කොටස්කාරයෝ.
ඊටපස්සෙ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ප්‍රියන්ත සිරිකුමාර නියෝජනය කරන පහළම ස්තරය. රජයේ රෝහල්වල ලෙඩෙක් බලාගන්න කෙනෙක් සෙට් කරලා ගාණක් කපා ගැනීම වගේ වැඩ තමයි ඔහු කරන්නෙ. ඒ අතර ඔහු ජහුටා කණ්ඩායමකත් ප්‍රධාන නළුවා. ඔහු නිතර රඟපාන්නෙ නළු චරිතේ. ඔවුන් ජහුටා නාට්‍ය කලාවේ යෙදෙන්නෙත් නිදන් හෑරීමේ ආවරණයක් විදියට. ලංකා ධරණීතලය යට නිධාන ඇතැයි විශ්වාස කරන ඔවුන් ඒවා හාරලා ගොඩගන්නයි බලන්නෙ.
ඇත්තමට චිත්‍රපටයේ නිෂ්පාදනමය වැඩක් කරන්නෙ ප්‍රියන්ති සිරිකුමාරගෙ බිරිය වන ගාමන්ට් සේවිකාව විතරයි. ඒ අතිනුත් ගොඩක් දුරට ලංකාවම තමයි.
වාලම්පුරිය
මේ අතරෙදි තමයි ඔය තල තුනේම ගේම්කාරයෝ අතරට වාලම්පුරිය එන්නේ. ඒක ඉහළම ගාණකට විකුණගෙන ගේමක් ගහගන්න අර ඊනියා ප්‍රභූ දේශපාලකයාගේ සිට බාබර් සාප්පුවේ මල්ලි දක්වා සම්බන්ධ වෙනවා. ආගමික සංස්ථාවත් සම්බන්ධයි. හැබැයි හාමුදුරු කෙනෙක් කතාවෙ නෑ. චිත්‍රපටය පෙන්නන්න බැරිවෙයි කියල වෙන්න ඇති. ලංකාවේ මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, වැඩ කරන සමහර එන්ජීඕ නායකයනුත් ඉහළ දේශපාලන-ආර්ථිකයෝ වාලම්පුරිකාරයන්ගෙන් යැපෙනවා. එකපතේ කනවා.ඒ තමයි ඔවුන්ගෙ වාලම්පුරිය. අන්න එහෙම දර්ශනයකුත් තිබුණා නම් තවත් මරු.
හැබැයි අනපේක්ෂිත ලෙස වාලම්පුරිය පහළම ස්තරය අතටම එනවා. ඒක ආපසු බාර නොදී පහළ කණ්ඩායමත් මැද කණ්ඩායමත් එකතු වෙලා තැත් කරනවා ගේමක් ගහලා ඉහළ ආර්ථික -දේශපාලන තන්ත්‍රය වෙතින් වාලම්පුරි වාසිය තමන් වෙතට ගන්න.
මේකෙදි දහසකුත් එකක් කායික හිංසනවලට පහළ තීරුව ලක් වෙනවා. චිත්‍රපටය ඉවර වෙන්නෙ වාලම්පුරිය තවමත් තමන් අතය යන තෘප්තිය ප්‍රියන්ත සිරිකුමාරගෙ මූණේ ඇඳෙන සිනාවක් ලෙසින් සටහන් කරමින්. ඒ තමයි චිත්‍රපටයේ කාව්‍යමය යුක්තිය. මේක ජනප්‍රිය ධාරාවේ සිනමා උපශානරයකට වැටෙන නිසා ඒ කාව්‍යමය යුක්තිය හෙවත් පොයටික් ජස්ටිස් තිබුණට කමක් නෑ.
එහෙම වුණත් මේ වගේ දූෂිත, පාදඩ, දේශපාලන-ආර්ථිකයක තමන් කිහිප දෙනෙක් අතට අහම්බෙන් ආපු වාලම්පුරියකින් හෝ ගොඩගත්ත නිධානෙකින් හෝ ගොඩයන්න බෑ. වාලම්පුරිය නියෝජනය කරන පද්ධතියම සාමූහිකව වෙනස් කරගන්න වෙනවා. වැරදීමකින් පහළ පාන්තිකයා අතට විසික් වෙන වාලම්පුරියකින් ජීවිතය ජයගැනීමේ අවස්ථාවක් කාටවත් නෑ. තිබුණත් ඒ ජය ගැනීමෙන් අර ඊනියා ප්‍රභූ දේශපාලකයා, ව්‍යාපාරිකයා විසින් ආරක්ෂා කෙරෙන ක්‍රමයම ඉතුරු වෙනවා.
වාලම්පුරිය කියන්නේ ලංකාවේ පශ්චාත් යටත්විජිත දේශපාලන ආර්ථික වගේ. හරයක් නෑ. හිස්. අධි ආරෝපිත මිලක් තියෙනවා, වටිනාකමක් නෑ. ඒ වාලම්පුරිය උතුරේ දකුණේ නැඟෙනහිර බිලිගෙන තියෙන ජීවිත නිමක් නෑ. ඒක තමන් අතට ගත්තම හරි කියන එක යස මරලා සුබ සිහසුනේ වාඩිවීමටත් වඩා භයානක වැඩක්. ජහුටා කණ්ඩායම් ජහුටා කරලම කීයක් හරි හොයාගන්න එක තමයි හොඳ, වාලම්පුරි දේශපාලන-ආර්ථිකය බිඳලන්න සාමූහිකව වැඩ කරන්න බැරි නම්.
රජයේ පඩි ලබන්නා හෙවත් පොලිස්කාරයා චිත්‍රපටයේ තරමක ඉහළ මට්ටමකම පොලිස් නිලධාරිය මේ වැනි ගේම්වලට සම්බන්ධ වෙන්නෙ වැටුප්, විශ්‍රාම වරප්‍රසාද ආදිය ප්‍රමාණවත් නැති නිසා බව ඔහුම කියනවා. ඒකෙ ඇත්තක් තියෙනවා. පහුගිය අවුරුදු ගාණක සිට මම ලාල්කාන්ත, නලින්ද වගේ සහෝදරවරුන් එක්ක ඇදගන්න කොක්කක් තමයි දේශපාලනයට එන අය පඩි ගන්න ඕනෙ කියන එක. මං ඒක කියන්නෙ අර පොලිස්කාරයා කියන දේ වැනි දෙයක් කියන්න. මම රතු ඉරි අඳින, අත ලියන කාලෙ කතා කරපු ඉහළම නීතිඥයෙක් කිව්වා මෙහෙම දෙයක්: “අපේ රටේ ඉහළ පොලිස් නිලධාරියොයි නීති ක්ෂේත්‍රයෙ ඉහළම අයයි තමන්ගෙ දරුවො අතින් සල්ලි දීලා (ශිෂ්‍යත්ව නැතිව) දරුවෝ ඔස්ට්‍රේලියාවේ යවන්න පටන් ගත්තම ලංකාවෙ කුඩු වැඩි වුණා.” ඒක නවකතාවෙත් ආඛ්‍යානමය වක්‍රෝක්තියකින් ලියලා තියෙනවා.
ඒකෙ ඇත්තක් තියෙනවා. ඒ දරුවන්නට හොඳ අධ්‍යාපනයක් ලංකාවෙ තියෙන්නත් ඕනෙ. ඒ නිලධාරින්ට අභිමානවත් වෘත්තීය ජීවිතයකට හා විශ්‍රාම ජීවිතයකට ඉඩ තියෙන්නත් ඕනෙ. ඒ නිසා දූෂණය කියන්නේ ආචාරධාර්මික ප්‍රශ්නයක් විතරක් නෙමේ ව්‍යුහමය කාරණයක්.
හැබැයි රටක දේශපාලන ආර්ථිකයක් පාදඩකරණය වෙන්නෙ හුදෙක් පාතලකාරයෝ ඉන්න නිසා විතරක් නෙමේ. මේ ඉහළ ඩීල්කාරයෝ අතිවිශාල සල්ලි කන්දක් ගොඩගහන්නෙ මොකටද? ඒකට එක උත්තරයක් තියෙන්නෙ ආර්චනකාමයක් බවට පත්වුණ පරිභෝජනය හෙවත් පරිභෝජනවාදය. ජීවිතවල නෛසර්ගික හරයක් නැතිවුණාම ආරෝපිත වටිනාකම් ඇති භාණ්ඩ පරිභෝජනය තුළ තමයි ඒ හරය හොයන්නෙ. අපේ රටේ මධ්‍යම පාන්තික තීරු ලුහුබැඳ යන වාලම්පුරිය තමයි ඒ. මේ අලංකරණය කරන ලද පරිභෝජන සංස්කෘතිය අපි චිත්‍රපටයේ දකින්නෙ නෑ. අර ඉහළම තීරු විනෝදෙට කරන වැඩ, සතුට ලබන වැඩ අපි දකින්නෙ නෑ.
උදාහරණයක් කියන්නම්: කුරුණෑගල පැත්තෙ මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන්ට ආර්ථික අර්බුදයත් එක්ක අතිවිශාල ආදායම් ආවා. එක්කෙනෙක් තමන්ගෙ විශාල පොල් වත්තේ විශාල වැවක් හදලා ඒකට වෝටර් ස්කූටර් ගෙනැත් දාගත්තා. අපි බිත්තර 45ට ගන්න කාලෙ තමයි දන්න කියන කෙනෙක් ඒ පින්තූර මට පෙන්නුවෙ.
ජහුටා කට්ටිය
මම කුරුණෑගල. පොඩි කාලෙ ඉඳලා ජහුටා බලනවා. ඒ ගැමි කලාකාරයෝ හරිම අහිංසක මිනිස්සු. මේ වගේ ව්‍යාජ ජහුටයෝ නෙමේ. චිත්‍රපටියෙ ජහුටා කලාකාරයෝ නිරූපණය වෙන හැටියට මම එච්චර කැමැති නෑ. තව ටිකක් වැඩියෙන් ජහුටා මානය වර්ධනය කරලා, ඒ කලාවත් ආර්ථික වශයෙන් වැටෙද්දි ජහුටා නායකයා අතට නිදන් වදුලක් පත්වෙනවා වගේ දෙයක් වුණා නම් හොඳයි. කූඹියෝ හෙවණැල්ල තව ටිකක් අඩු කරලා ජහුටා පැත්තට ගියා නම් චිත්‍රපටයේ දෘශ්‍යමය උත්ප්‍රාසය හා අලංකාරයත් තව වැඩි වෙන්න තිබුණා. උදාහරණයකට මැදපෙළ ව්‍යාපාරිකයෙක් වුණු තුමිඳුටත් ජහුටා නාට්‍යයක රඟපාන්න වෙනවා කියන්නෙ අපූරු උත්ප්‍රාසයක්.
කොහොමත් සිරිකුමාර, සරත් වගේ මගෙ පරණ යාළුවෝ අපූරුවට රඟපානවා. ඒවා බලන් ඉන්න ආසයි. මේ වගේ චිත්‍රපට වැඩි වැඩියෙන් ඇවිල්ලා සිනමා කර්මාන්තය හැදෙන්න ඕනෙ. මීට වඩා සිනමා කලාව පැත්තෙන් ඉහළ හා බර බහුචිතවාදියා ළඟදී එනවා. මේ ගැම්මෙන්ම ඒකත් බලමු. චිත්‍රපටයේ අවසන් නාමාවලිය යද්දි අපි දකිනවා අපේ ජීවිතවල හැම තැනම වාලම්පුරිය තියෙනවා. ඒක භයානක දෙයක්. අපි හැමෝම අඩු වැඩි වශයෙන් ගේම්කාරයෝ. ඒ හැම තැනින්ම වාලම්පුරිය අල්ලලා විසි කරන ධෛර්යය අපට සාමූහිකව අත්පත් කරගන්න බැරි ද?
ඩීල් ආර්ථිකය