Home » පොල්කටුවලින් මවන විස්කම්

පොල්කටුවලින් මවන විස්කම්

by sachintha
May 6, 2025 1:32 am 0 comment

බොහෝ දෙනෙක් පොල් ගස, ශාක ලොවේ ‘කප් රුක’ ලෙසින් හඳුන්වති. එසේ හැඳින්වීමට හේතු වන්නේ පොල් ගසේ සියලු කොටස් මිනිස් අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි වීමයි. මෙවර ‘විස්කම්’ වෙතින් කියන්නට යන්නේ ද පොල් කටුවෙන් දස්කම් පෙන්වන කෙනකු ගැනය.

නමින් රංජිත් විමලසිරි වන මොහු පදිංචිව සිටින්නේ බෙම්මුල්ල ප්‍රදේශයේය. උපතින්ම චිත්‍රවලට දස්කම් දක්වන රංජිත් මහතා තම හැකියාවන් ගැන විස්තර කර සිටියේ මෙසේය.

‘ඇත්තටම චිත්‍රවලට සහජ දක්ෂතාව විතරයි මට තිබුණේ. ඉස්කෝලෙදිවත් වෙනම චිත්‍රවලට යොමු වුණේ නෑ. මට ඒ කාලෙ චිත්‍රපට කටවුට් අඳින්න ලොකු ආශාවක් තිබුණා. ඒ පැත්තට යොමු වෙන්න ගියත් ඒක හරි ගියෙත් නෑ. ඊට පස්සේ මට එස්.එස්. සරත් කියල රේඛා චිත්‍ර විශේෂඥයෙක් හම්බ වෙනවා. එයා ළඟටත් දවස් දෙක තුනකට වඩා යන්න බැරි වෙනවා. මොකද මම ඒ වෙනකොට සී.ජී.ආර්. එකේ වැඩ කළේ. ඊට පස්සේ අපේ තාත්තා කියල තිබුණ කෙනෙක්ට හේවුඩ් එකට දාල දෙන්න කියලා. කොහොම හරි ඒකත් මට මඟ ඇරුණා.’

කුඩා කල පටන් උපතින්ම ලද දක්ෂතාවත් රැගෙන විවිධ කඩඉම් පසු කළ රංජිත් මහතා අවසානයේ නවතින්නේ වෙනස්ම තැනකය. ඒ පොල් කටුවලින් විස්මිත නිර්මාණ කරනා ව්‍යවසායකයකු ලෙසය. තවද තම පුතණුවන් දෙදෙනාට ද පියාගේ දක්ෂතා එලෙසින්ම පිහිටා තිබීම විශේෂත්වයකි. වැඩිමල් පුතු මේ වන විට චිත්‍ර ගුරුවරයකු ලෙස ද කටයුතු කරන්නේය.

පොල් කටුවලින් නිර්මාණ කිරීම ඇරඹුණු අයුරු රංජිත් මහතා මෙසේ විස්තර කර සිටියේය.

‘මුලින්ම මම පොල් කට්ටෙන් නිර්මාණයක් විදිහට කරන්නෙ පොල් කටු හැන්දක්. පුතා ගෙදර වැඩකට ගෙනත් තිබුණ ගම් එකකින් තමයි මේ මුල්ම පොල් කටු හැන්ද හැදුවෙ. ඒක මං හිතුවටත් වඩා හොඳට හදන්න පුළුවන් වුණා. පස්සෙ තමයි අවශ්‍ය අයට රිවට් ඇණ එහෙම ගහල හදල දුන්නෙ.

ඒත් දැන් වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ ඉඳිආප්ප තට්ටුවලට. හැඳිවලට පොල් කට්ට කැපුවට පස්සෙ වළල්ලක් ඉතුරු වෙනවා. දවසක් නෝන ඇහුවා, බැරිද ඒකෙන් අපට ඉඳිආප්ප තට්ටුවක් හදන්න කියලා. ඉතින් ඊට පස්සෙ මම ග්‍රිල් එකෙන් මේ පොල් කටු වළල්ල හෙමින් විදල එකක් වියල බැලුවා. ඇත්තටම ඒක ගොඩක් සාර්ථක වුණා. ඒ හදපු ඉඳිආප්ප තට්ටුවලින් අපි ගෙදරත් ඉඳිආප්ප හදල බැලුවා. එතකොට අපට තේරුණා කිසිම කරදරයක් නැතුව මේ ඉඳිආප්ප තට්ටු පාවිච්චි කරන්න පුළුවන් කියලා.

ඔන්න ඔය කාලෙ ප්ලාස්ටික් තහනම ආවා. පස්සෙ මට හිතුණා වේවැල් ගෙනත් මේ පොල් කට්ටෙන් හදන ඉඳිආප්ප තට්ටු හැදුවොත් මිනිස්සු ගනී කියලා. එහෙම ආරම්භ කරපු පොල් කට්ටෙන් හදපු ඉඳිආප්ප තට්ටුවලට තමයි අද වැඩිම ඉල්ලුම තියෙන්නෙ. ඇත්තටම මට ඉල්ලන අයට දෙන්න බැරි තරම්. ඒකට එක හේතුවක් තමයි මේ වැඩේ ඉවසීමෙන් කරන්න ඕන එක. මොකද පොල් කට්ටක් ග්‍රිල් කරනව කියන්නෙ සීරුවෙන් කරන්න ඕන දෙයක්. ඒව එකින් එක වියන්නත් වැඩි වේලාවක් ගත වෙනවා.’

අහක දමන, එහෙමත් නැත්නම් ලොරිවලින් ඇවිත් ඇතැම් විට සුළු මුදලට අරගෙන යන පොල් කට්ටට රංජිත් මහතා විශාල වටිනාකමක් දී තිබේ. රංජිත් මහතා කියන පරිදි මේ පොල් කටු ඉඳිආප්ප තට්ටු නිර්මාණය කරන කෙනකු ගැන අප රටේ අසා නැති තරම්ය. ඒ හේතුවෙන් මෙරට මෙන්ම පිටරවලින් ද පොල් කටු ඉඳිආප්ප තට්ටුවලට ඇත්තේ වැඩි ඉල්ලුමකි.

රංජිත් මහතා උපතින් ගෙනා කලා හැකියාවන් පොල් කට්ටෙන් විදහා පෑම ආරම්භ කරන්නේ ද මේ පොල් කටු හැඳි, ඉඳිආප්ප තට්ටු හදන වේලාවල්වලදී ලැබෙන විවේක කාලයෙනි. එක් දෙයකට පමණක් සීමා නොවන රංජිත් මහතාගේ ඉවසීම ලුණු පොල්කටු, වෙස් මුහුණු, සත්ත්ව රූප (මොනරා, හංසයා), බෝ ගස් අනුරූ (මුචලින්ද නාග දරණ සහ බෝගස මුල වැඩ සිටිනා බුදුරජාණන් වහන්සේ) නිර්මාණවලින් හොඳින් පෙන්නුම් කරයි.

ඇත්තෙන්ම අප විසින් ඉවත දමන පොල් කට්ට නිර්මාණයක් බවට පත් කිරීම ලෙහෙස පහසු කරුණක් නොවේ. පෙනුමින් එය සරල දෙයක් බව සිතුණ ද පොල් කට්ට සුද්ද කිරීම, අවශ්‍ය ප්‍රමාණවලට කපා ගැනීම, සිදුරු විද ගැනීම, ඇලවීම මෙන්ම අවසානයේ ඇස් පිනවන නිර්මාණයක් දක්වා ගෙන යෑම ලෙහෙසි පහසු නැත. ඒ බව රංජිත් මහතා සිදු කරනා නිර්මාණවලින් ද මනාව දැකගත හැකිය. ඇතැම් අවස්ථාවලදී එක් කොටසක් අලවා අනෙක් කොටස ඇලවීමට දවසක් පමණ තැබීමට ද සිදුවනු ඇත. කොතරම් කාලයක් ගත වුව ද ඔහුගේ නිර්මාණවල තත්ත්වය එදා මෙන්ම අදත් එක ලෙසින් පවත්වාගෙන යෑමට සමත්ව ඇත. මේ හේතුවෙන් එංගලන්තය, ජපානය වැනි රටවල අය ද පොල් කටු නිර්මාණ මිල දී ගැනීමට පුරුදුව සිටිති.

අහක දමන පොල් කට්ට ඩොලර් මවන සම්පතක් බවට පත් කිරීමට රංජිත් මහතා සමත්ව සිටින්නේය. ඇත්තටම මෙවැනි ව්‍යවසායකයන් තව තවත් දිරි ගැන්වීම සිදුවිය යුත්තකි. මෙවැනි නිර්මාණවලට පිටරටවලින් ඇත්තේ ද ඉහළ ඉල්ලුමකි. මෙවැනි කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත බවට පත් කිරීමට හැකි නම් අප රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කළ හැකිය.

ගයාන් සංජය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT