Home » හවුති කැරැලිකරුවන්ගෙන් ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

හවුති කැරැලිකරුවන්ගෙන් ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

by sachintha
May 6, 2025 1:31 am 0 comment

ඊශ්‍රායලයේ ප්‍රධානතම ගුවන්තොටුපොළක් වන බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට හවුති කැරැලිකරුවන් විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු නොවූවද, පුද්ගලයන් අටදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මිසයිල ප්‍රහාරයෙන් ප්‍රධාන මාර්ගයට සහ මෝටර් රථ කිහිපයකට හානි සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඕනෑම සතුරු මිසයිලයක් විනාශ කළ හැකි අධිතාක්ෂණයෙන් සමන්විත අයන් ඩෝම් ගුවන් ප්‍රහාර නාශක පද්ධතියක් ඊශ්‍රායලය සතුවුවද, හවුති මිසයිල ප්‍රහාරය මැඬ පැවැත්වීමට අසමත්වූ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර ඇති අතර, මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුවන බව ද වාර්තා වේ.

මේ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දැඩි ලෙස කෝපයට පත්වූ බවත්, ඉරාන හිතවාදී හවුති කැරැලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයට ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන බවට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම ප්‍රහාරයේ ප්‍රතිවිපාකවලට මුහුණදීමට ඉරානයට ද සිදුවනු ඇතැයි ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඊශ්‍රායල අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ආරක්ෂක ඇමැති අසීස් නසීර්සාදි ද නිවේදනයක් නිකුත් කර ඇති අතර, අමෙරිකාවෙන් හෝ ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ටෙහෙරානයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව එම නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT