ඉන්දියාව සමඟ උද්ගත වී ඇති යුද උණුසුම මැද පාකිස්තාන ගුවන් හමුදාව සිය නවතම මිසයිලය අත්හදා බැලූ බව පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. එය දින තුනක් ඇතුළත පාකිස්තානය විසින් අත්හදා බලන ලද දෙවැනි මිසයිලය බවත් වාර්තා වේ. එරට ගුවන් හමුදාව විසින් පවත්වනු ලබන මහ පරිමාණයේ යුද අභ්‍යාසයක් වන ඉන්දුස් අභ්‍යාසයේ පියවරක් ලෙස සිදු කළ එම අත්හදා බැලීමට භාවිත කළ මිසයිලය කිලෝමීටර් 120 ක දුරකට එල්ල කිරීමේ හැකියාව ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
පාකිස්තානයේ අන්තර් සේවා මහජන සම්බන්ධතා ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මිසයිලය අත්හදා බැලීම එරට හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාකිස්තාන උපායමාර්ගික සංවිධානවල නිලධාරින්, විද්‍යාඥයන් හා ඉංජිනේරුවරුන්ගේ නිරීක්ෂණයට ලක්වූ බවය.