ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වූ හිටපු අතිරේක කෘෂි ලේකම් යළි රිමාන්ඩ්
රජයට අමෙරිකානු ඩොලර් මිලියන හයයි දශම නවයක (6.09) පාඩුවක් සිදු කරමින් මීට වසර හතරකට පෙර (2021) චීනයේ සමාගමකින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (5) දැන්වීය.
සිද්ධියට අදාළ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සහ පොහොර සමාගම් මඟින් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කරුණු දැක්වීය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු වන මහේෂ් ගම්මන්පිල ඇප මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඔහුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම නිසා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ඊයේ නියෝග කළාය.
චීනයේ කින්ඩාඕ සීවීන් බයෝටෙක් (Qingdao Seawin Biotech) නමැති සමාගමේ පළමු පොහොර තොගයෙන් සියයට 75 කට එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට සිදුවීමෙන් රජයට අයුතු පාඩුවක් සැකකාර පුද්ගලයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට දැන්වීය.
සැකකාර හිටපු අතිරේක ලේකම්වරයා විසින් කර ඇති එම ක්‍රියාව දූෂණය නමැති වරදට ගැනෙන බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ,
ස්වාමීනි, සැකකරු ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි ලබා දීමට උපදෙස් ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොහොර සමාගම් දෙකක් ක්‍රියාත්මක වී තිබෙනවා. ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම යටතේ මෙම ණයවර ලිපි නිකුත් කර තිබෙනවා, ස්වාමීනි මෙම සිද්ධියට අදාළ ලංකා පොහොර සමාගමේ සභාපති වන ජන ශ්‍රී විධානගේ මහතා ලබා දුන් ප්‍රකාශ අනුව මෙම සැකකරු විසින් පොහොර නැව ගෙන්වීමට බලපෑම් කර තිබෙන බව දැනගන්න ලැබුණා, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිතුමාගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට තිබෙනවා යනුවෙන් කීය.
ලංකා පොහොර සමාගමේ සභාපතිතුමා විසින් ලබා දුන් ප්‍රකාශය අනුව ජාතික ශාක නිරෝධායන ආයතනය විසින් මෙම ණයවර ලිපි නිකුත් කිරීම තහනම් කර තිබියදී සැකකරු 2021 /9/16 වන දින කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පවත්වන ලද රැස්වීමකදි පොහොර ගොවියාට නොලැබුණු පසු ගොවියාට වගා කිරීමට ක්‍රමයක් නැති බව පවසා තිබෙනවා. නිසි පරිදි අසවැන්න ලබා ගැනීමට පොහොර නිකුත් කිරීමට කටයුතු කරන ලෙසට ක්‍රියා කර තිබෙනවා,
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ,
මෙම සැකකරු විසින් ප්ලාන්ට් පොරොනටයට් සහතිකය නැතුව ලංකාවට මෙම පොහොර නැව ගෙන්වීමට කටයුතු කර තිබෙන බවය.
සිද්ධිය පිළිබඳ සැකකරු සත්‍ය තොරතුරු දැන දැනම ලංකාවට ගෙන්වීම තුළ විශාල පරිසර හානියක් සිදු වීමට තිබූ බවද විමර්ශන නිලධාරීහු කරුණු දැක්වූහ.
ලංකා පොහොර සමාගමේ සභාපති විසින් ජාතික ශාක නිරෝධායතනය විසින් වාර්තා කළ තොරතුරුවලට අනුව මෙම ණය වර ලිපි ලබා දීම සම්බන්ධයෙන් මහජන බැංකුවට අත්හිටුවීමේ වාර්තාවක් ද ඉදිරිපත් කර තිබූ අවධියක 2021/9/16 වන දින කෘෂිකර්ම අමාත්‍ය ලේකම්වරයා ඇතුළුව කමිටුවක් පත් කර ණයවර ලිපි විවෘත කිරීමට බලපෑම් කර තිබෙන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වීය.
සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටිමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලවකවානුව තුළ මෙම සිද්ධිය සිදුව ඇති බවත් එම කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව හිටපු ලේකම්වරයා එසේ ක්‍රියාකර ඇති බවත්ය.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව තම සේවාදායකයා එම කටයුත්ත සිදුකර ඇති බැවින් ඔහු වරදකරුවකු නොවන බවද නීතිඥවරු අධිකරණය හමුවේ පැවසූහ.
කාබනික පොහොර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය යටතේ අනුමැතිය ලබා ඇති බවත්,2021/2022 අමාත්‍ය මණ්ඩල සන්දේශයේ මහින්දානන්ද ගමගේ අත්සන යටතේ නිකුත් කර තිබෙන බවද නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීය.
ස්වාමීනී,මෙම සිද්ධියට අදාළව තම සේවාදායක පමණක් නොව විශේෂ කමිටුවට අදාළ සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි, මාගේ සේවාදායකයා මෙම කමිටුවේ කැඳවුම්කරු පමණයි, පොහොර නැව ගෙන්විම සම්බන්ධව තීරණය ලබා ගත්තේ කමිටුවේ සියලු දෙනාගේම මැදිහත්වීම මත චම්පිකා ධර්මසේන යන අය මෙම ලේඛනය කැඳවුම්කරු වෙත එවා තිබෙනවා, යනුවෙන් නීතිඥවරයා පැවසීය.
ස්වාමීනි මෙම සිද්ධියට අදාළව විදේශ අමාත්‍යවරයා,චීන තානාධිපතිවරයා ඇතුළු සියලුදෙනා එකතුවෙලා සාකච්ඡාවක්ද පවත්වලා තිබෙනවා, මේක බරපතළ දේශපාලන ප්‍රශ්නයක්, ජාත්‍යන්තරව ඇතිවී තිබෙන ප්‍රශ්නයක් මිස තම සේවාදායකයා සම්බන්ධ වන්නේ නැහැ
මෙම සිද්ධියට අදාළව ලංකාවට ලැබිය යුතු යුවාන් බිලියනයක ණයක් තහනම් කරනවා යනුවෙන් නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්විය.
ස්වාමීනි මැති ඇමැතිවරුන්ගේ බරපතළ රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් මේක කැඳවුම්කරු විදිහට තම සේවාදායකයාගේ මැදිහත්වීමේ හැකියාවක් පවතින්නේ නැහැ, යනුවෙන් තවදුරටත් කරුණු දැක්වීය.
එම කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව කමිටුවක් පත් කර එම කමිටුවේ කැඳවුම්කරු ලෙස තම සේවාදායකයා ක්‍රියාකර ඇති බවද ඔහු පොහොර නැව ගෙන්වීමට කටයුතු කර නැති බවද නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීය.
නීතිඥයා කළ කරුණු දැක්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවේ,
මෙම ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසු පළමු සාම්පලයක් ලංකාවට එවූ අවස්ථාවේ ජාතික ශාක නිරෝධායන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට මෙම පොහොර තොගය සුදුසු නැති බව පවසා තිබියදී මෙලෙස ක්‍රියා කිරීම රාජ්‍ය ආයතනයක නිලධාරියකු වශයෙන් නොකළ යුතු කාර්යයක් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දැක්විය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පවසා සැකකරු හට ඇප ලබා දුනි. මිලියන 5 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට සහ සැකකරුගේ විදෙස් ගමන් තහනම් ලෙසටද නියෝග කර තිබිණි. නමුදු ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකී වීම නිසා සැකකරු යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
කල්පනි අබේසිංහ
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්නේ