Home » කොළඹ සරසවි සිසුන් අඹගහකුඹුර අමුණ ප්‍රතිසංස්කරණය කර ගොවීන්ට භාර දීලා

කොළඹ සරසවි සිසුන් අඹගහකුඹුර අමුණ ප්‍රතිසංස්කරණය කර ගොවීන්ට භාර දීලා

by sachintha
May 6, 2025 1:06 am 0 comment

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගහකුඹුර අමුණ සහ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ සාර්ථකව අවසන් කර ප්‍රදේශයේ ගොවි සංවිධානයට භාර දීම නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

විෂය නිර්දේශයට සමගාමීව ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ වසර පහකට ආසන්න කාලයක් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකර තිබූ අඹගහකුඹුර අමුණ සහ ඇළ මාර්ගය සිසු සිසුවියන්ගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් මෙලෙස ප්‍රතිසංස්කරණය කෙරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් තුන් ලක්ෂ පහළොස් දහසකි. මාස දෙකකට ආසන්න කාලයක් එම ප්‍රදේශයේ සිසුන් රැඳී සිටිමින් මේ ව්‍යාපෘතිය නිම කර ඇත. ප්‍රදේශයේ ගොවි සංවිධාන ද සහාය දී තිබේ.

රත්මල් ඔය සහ කොස්වතු ඔයට සම්බන්ධ මේ ඇළෙන් කුඹුරු අක්කර 38ක් පෝෂණය වන අතර, එයින් ගොවි පවුල් 25කට සෙත සැලසේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පලුවැල්ගාල ගොවි සංවිධානයේ සභාපති ජනක පද්මාල් මහතා මෙලෙස පැවසීය.

“අවුරුදු ගාණක් අපට මේ කුඹුරු වගා කරන්න ඇළෙන් වතුර ගැනීම ගැටලුවක් වෙලා තිබුණා.අමුණ කැඩී තිබුණ නිසා පොල්බොඩ සකස් කර ඒ මත ඉටිකොළ දාලා තමයි වතුර ගත්තේ. එය ඉතා දුෂ්කර කාර්යයක්. ඒ හින්දා ගොඩක් දෙනෙක් කුඹුරු වගා කිරීම අත්හැර තිබුණා. සමහර අය කන්න දෙකම වැඩ කළේ නෑ. වරින් වර තමා වගා කළේ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ දුවා දරුවන් මේ විදිහට අමුණ ප්‍රතිසංස්කරණය කර ඇළ මාර්ගය සකස් කර දීම බොහොම පින් සිද්ධ වෙන වැඩක්.”

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ සිසු දරු දැරියෝ අදහස් දක්වමින් මෙලෙස පැවසූහ.

නිරාශා චතුමිණී

“අපේ කණ්ඩායම සිනර්ජි සීකස් කණ්ඩායම ලෙසයි නම් කර තිබෙන්නේ. මම කණ්ඩායමේ භාණ්ඩාගාරික. සාමාජික සාමාජිකාවන් විසි තුනක් ඉන්නවා. ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ තමයි අපි මේ ව්‍යාපෘතිය තෝරාගත්තේ. විවිධ වැඩසටහන් කර උපයා ගත් මුදල්වලින් රටේ කාලීන අවශ්‍යතාවක් සපුරාලන්න, ජාතික ආර්ථිකයට ඍජුවම බලපාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කණ්ඩායමේ සියලුම දෙනාම අදහස් කළා. එහිදී අපි හඳුනා ගත්තා, බොහෝ වී ගොවීන් වගා කටයුතු අත්හරින්නේ ප්‍රධාන වශයෙන්ම ජලය ගැනීමේ අපහසුතාව නිසා බව.

ඒ නිසා මේ ව්‍යාපෘතිය අපි තෝරා ගත්තා. මාස දෙකක් වගේ කාලයකදී ගොවි ජනතාවගේත් සහායෙන් ඇළ මාර්ගය සහ අමුණ ප්‍රතිසංස්කරණය කළා. මේ ව්‍යාපෘතියෙන් ගොවි ජනතාව ලැබූ සතුට අප ලැබූ විශාල ජයග්‍රණයක්.”

සිනර්ජි සීකස් කණ්ඩායම් නායක සී. වයි. ගිම්හාන

“වර්තමානයේ වී ගොවීන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් අප කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිල්ටන් ද අල්විස් සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත නාත්තන්ඩිය අඹගහකුඹුර අමුණ සහ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අපේ කණ්ඩායම කටයුතු කළා. මේ අමුණ හා වාරි පද්ධතිය අපි කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා පිළිසකර කළා.

මේ සිදු කළ දෙයින් ගොවීන් ලබන සතුට අපට මහත් ශක්තියක් වගේම ආඩම්බරයක්. මෙවැනි ව්‍යාපෘතිවලින් වර්තමානයේ පවතින අර්බුදවලට විශාල රුකුලක් සැලසෙනවා.”

මාරවිල සමූහ – මිහිර විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT