Home » දේපළ වෙ‍ෙළඳාම් හා සංචාරක ක්ෂේත්‍රවල ආයෝජනයට වින්ගෲප් සමූහයට ආරාධනා

දේපළ වෙ‍ෙළඳාම් හා සංචාරක ක්ෂේත්‍රවල ආයෝජනයට වින්ගෲප් සමූහයට ආරාධනා

by sachintha
May 6, 2025 1:53 am 0 comment

ශ්‍රී ලංකාවේ දේපළ වෙ‍ෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වින්ගෲප් සමූහයට ආරාධනා කළේය.

වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ආරාධනය කළේ, වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී පෙරේදා (04) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවේදී ය.

මෙම සාකච්ඡාව වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති අතර වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාම ගොඩනැඟීම වෙනුවෙන් සුබපැතුම් ද එක් කළේය.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා නම්‍යශීලි හා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව ද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් සංචාරක හා දේපළ වෙ‍ෙළඳාම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල විදේශීය ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ටෙක්නොකොම් කෝපරේෂන් (Technocom Corporation) ලෙස හැඳින්වූ වින්ගෲප් ඒකාබද්ධ කොටස් සමාගම (Vingroup JSC) 1993 වසරේදී යුක්රේනයේ ආරම්භ කරන ලදී. වර්තමානය වන විට, වින්ගෲප් නාමය වියට්නාමයේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ව්‍යවසායන්ගෙන් එකකි.

මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් (Nguyen Viet Quang) මහත්වරු සහ දෙරටේ නියෝජිතයෝ සහභාගී වූහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT