ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
මෙහිදි පසුගිය දිනවල පැවති මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාට කථානායකවරයා සිය සුබ පැතුම් එක් කළේය.
කැනඩා ජනතාවට ද උණුසුම් සුබ පැතුම් පළ කළ කථානායකවරයා දශක 6කට අධික කාලයක් මුළුල්ලේ කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හා මිත්‍රශීලි සබඳතා පිළිබඳව මෙහිදී සිහිපත් කළේය.
කථානායකවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කැනඩාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. මහවැලි ව්‍යාපෘතිය, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, බිම්බෝම්බ ඉවත් කිරීම සහ සාමය ගොඩනැඟීම වෙනුවෙන් මුලපිරීම් වැනි ප්‍රධාන අංශ සඳහා කැනඩාවේ දායකත්වය පිළිබඳව කථානායකවරයා සිහිපත් කළේය.
ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගත් උත්සාහයන්හිදී කැනඩාව ලබා දුන් සහයෝගය සඳහා ද කථානායකවරයා සිය ස්තුතිය පළකර සිටියේය.
කැනඩාවේ පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානුවන්ගේ නියෝජනය වැඩි වීම පිළිබඳව කථානායකවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, එය කැනඩාවේ සියලු පාර්ශ්ව ඇතුළත් බහු සංස්කෘතික සමාජයේ පිළිබිඹුවක් බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් කථානායකවරයා පැවසීය.
ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම, වාර්ගික හෝ ආගමික බෙදීම් ඉස්මතු කරන්නාවූ පිරිස්වලට එරෙහිව දැඩි පියවර ගැනීම සහ ශක්තිමත් දූෂණ විරෝධී යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ද ඔහු අවධාරණය කළේය.
බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ, සංහිඳියාව සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති මුලපිරීම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරයා සිය ප්‍රසංශාව පළකර සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් කථානායකවරයා, දෙරටේ ව්‍යවස්ථාදායක අතර සබඳතා වර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා – කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දස වැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.
ස්වර්ණා විජේකෝන්