ගල්කිස්ස සිල්වෙස්ටර් පාරේ මාර්ග පවිත්‍ර රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගන අපද්‍රව්‍ය අංශ කම්කරුවකුට ඊයේ (05) උදෑසන 6.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මී.මී. 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.
මොහු දෙහිවල ඕබන් පෙදෙස පදිංචිව සිටින වයස අවුරුදු 19 වන විශ්ව නොහොත් ප්‍රවීන් නිශ්ශංක නම් නගර සභා පවිත්‍රතා සේවකයකු බව ද පොලීසිය කියයි.
මෙදින ඔහුට නියමිතව තිබුණු සිල්වෙස්ටර් පාර පිරිසිදු කිරීමේ රාජකාරියේ නිරතව සිටින අතරතුර යතුරුපැදියකින් පැමිණි ආ පුද්ගලයන් දෙදෙනකු අතර සිටි පසුපැදිකරු ඔහුට වෙඩි තබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
යතුරුපැදියේ සිට වෙඩික්කරු වෙඩි තබන විට පවිත්‍රතා සේවකයා ජීවිතාරක්ෂාව පතා කෑ ගසමින් ගාලුපාර දෙසට දිවගොස් ඇත. ඒ වන විටත් වෙඩි වැදී තුවාල ලබා සිටි ඔහු දිවගොස් වෙරළපාර අසල පදික වේදිකාවට පැමිණ තිබේ. එම අවස්ථාවේදී ඔහු පසු පස දිව ආ වෙඩික්කරු නැවතත් වෙඩි තබා ඇත. මේ සියල්ල ආරක්ෂක කැමරාවල සටහන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වෙඩි කෑ පුද්ගලයාව අවට සිටි පිරිස් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් උදෑසන 7.30 වනවිට ඔහු මිය ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
ගල්කිස්ස කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණ මහතාගේ අධීක්ෂණය මත දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත්, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන්, ගල්කිස්ස අපරාධ අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලීන් රණවීර යන මහත්වරු ඇතුළු විශේෂ කාර්ය බළකාය නිලධාරීන් පරීක්ෂණ සිදු කරති.
දෙහිවල සමූහ – ඩී. පී. හේරත්