චරිත්ගේ සත්දින දානය දා මාවෙල තිලකවංශ හිමියෝ කියති
අනේකවිධ දුක් වින්දේ දරුවාගේ අනාගතය දීප්තිමත් කිරීමටයි:
පියා
නවකවදය නැති කිරීමට වැඩපිළිවෙළක් සකසන්න – චරිත්ගේ පියා ජනපතිගෙන් ඉල්ලයි
“අධ්‍යාපනයේ නාමයෙන් විශ්වවිද්‍යාලවලට යන නරුම පිරිසක් අනිත් දරුවන්ගේ නිදහස නැති කර ඔවුන්ට දරුණු වධහිංසා දුන් බව කියන, දරුවාගේ මරණයට සැකපිට හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට රැගෙන ඒම ගැන තරමකට සෑහීමකට පත්වෙනවා” යැයි නවකවදයට මුහුණ දීමෙන් පසු සියදිවි නසාගත් ගම්පොළ අටබාගේ ඉහළගම පදිංචිව සිටි චරිත් දිල්ෂාන් සිසුවාගේ මව වන ඉරෝෂිකා දුලානී දර්ශිකා දයාරත්න මහත්මිය පැවසුවාය.
විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේදී කොට කලිසමක් හැඳ සිටියේ යැයි උරණ වූ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් එහි ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි දෙවන වසරේ සිසුවකු වූ චරිත් දිල්ෂාන් දයාරත්න ඇතුළු සිසුන් කිහිප දෙනකුට අප්‍රේල් මස 26 වැනි දින රාත්‍රියේ දරුණු ලෙස නවකවදය දී ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.
මේ සිද්ධියත් සමඟ දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි චරිත් දිල්ෂාන් සිසුවා සිය ගම්පොළ නිෙවසට පැමිණ ලිපියක් ලියා නිෙවස පිටුපස දී ගෙල වැලලාගෙන පසුගිය 29 වැනිදා සියදිවි නසාගෙන තිබුණි.
චරිත්ගේ සත් දවසේ දානමය පින්කම ඊයේ (05) දිනට යෙදී තිබිණි.
අටබාගෙ, උඩගම ආනන්ද මූල විහාරස්ථානයේ විහාරාවාසී ශාස්ත්‍රවේදී මාවෙල තිලකවංශ හිමියෝ අනුශාසනාවක් කරමින් එහිදී මෙසේ ප්‍රකාශ කළහ.
‘‘චරිත් විශ්වවිද්‍යාලට ගියේ අලුත් සිහිනයක්, නැවුම් බලාපොරොත්තුවක් තියාගෙන, තම මවුපියන්ට ඥාතීන්ට මෙන්ම ගමටත් ගෞරවයක් දෙන්නයි. නමුත් මේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉහළ වසරවල සිසුන්ගෙන් එල්ල වූ තාඩන පීඩන එහෙම නැතිනම් අමානුෂික නවකවදය දරාගැනීමට නොහැකිව අප කවුරුත් නොපැතූ ආකාරයට ඔහු ජීවිතය නැති කරගත්තා. ඔහු ඉගෙන ගත් දෙවන වසරේ සිසුන් විසින් මේ පිළිබඳව නීතියේ සාධාරණයක් ඉල්ලා තිබෙනවා. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාල පද්ධතියෙන් නවකවදය තුරන් කිරීමයි. ඒ සඳහා අප ද කටයුතු කළ යුතු වන්නේ මේ රටේ ගම්බද දරුවන්ගේ හා මවුපියන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු කරදීමට අපගේ ද වගකීම මේ රටට දිය යුතු නිසයි.”
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වූ චරිත්ගේ පියා වන රුවන් දයාරත්න මෙසේ පැවසීය.
‘‘මවුපියන් විදිහට අපේ දහසක් අවශ්‍යතාවන් කැප කර මගේ පුතාගේ අනාගතය දීප්තිමත් කිරීමට අපි අනේක වාරයක් දුක් විඳ කැප කිරීම් කළ නමුත් මේ විශ්වවිද්‍යාලවල ඉන්න ඇතැමුන් කීපදෙනෙක් ඒ සියලු දේ විනාශ කළා. අපේ වයසත් එක්ක අපි දන්නා ආකාරයට හැත්තෑව දශකයේ ඉඳලා විශ්වවිද්‍යාලවල දරුණු විදිහට පවතින මේ නවකවදය තුරන් කිරීමට කිසිම පාලකයෙක් කටයුතු කළේ නෑ. මේ නිසා දරුවන් පිරිසක් මියගියා. අත් පා කැඩුණා. ඔවුන් මානසික පීඩාවන්ට ගොදුරු වුණා. උන්මන්තකයෝ වුණා. තට්ටු ගොඩනැඟිලිවලින් පහළට පැනලා ආබාධිතයෝ වුණා. ඒත් අදටත් ඒ අමානුෂික නවකවදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුරන් වෙලා නෑ. ඒ නිසා ජනාධිපතිගෙන් අප ඉල්ලා සිටින්නේ රටේ කරන මේ පරිවර්තන අතරට මේ විශ්වවිද්‍යාල නවකවදය තුරන් කිරීමටද වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි. මේ උගත් සමාජයේ ඇතිව තිබෙන මේ ගෝත්‍රික සමාජ ක්‍රමය ඉවත් කිරීමට පියවර නොගැනීම රටවැසියන් වන අප හැමෝටමත් ප්‍රශ්නයක්. ඒ වගේම අනෙක් දරුවන්ගේ වගේ මගේ දරුවාගේ මරණයත් රහසක් වීමට ඉඩ නොදී මේ අපරාධය ලෝකයට හෙළි කළ සියලු මාධ්‍යවේදීන්ටත් මාධ්යයන්ටත් නිර්භයව කටයුතු කළ මගේ දරුවාගේ වසරේ විශ්වවිද්‍යාල දරුවන්ටත් මම ගෞරවය පුද කරනවා. ඔවුන්ගේ මේ හොඳ කාර්යයට රටවැසියන් වන අපද සහාය දිය යුතු යැයි මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා”යිද පැවසීය.
ගම්පොළ – සුරංග දිල්හාන්