Home » විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 6 දෙනෙකුගේ වැඩ තහනම්
නුපුහුණු කතුන් 35,000ක් රට යවා කෝටි 250ක් වංචා කරලා

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 6 දෙනෙකුගේ වැඩ තහනම්

-අතිරේක සාමාන්‍යාධිකාරිවර‍ෙයකුත් ඒ අතර

by sachintha
May 6, 2025 2:49 am 0 comment

පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශගත කිරීමෙන් රුපියල් කෝටි 250ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු හය දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. පළමුවරට ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ඔවුන් අනිවාර්යයෙන් සම්පූර්ණ කළයුතු රැකියා පුහුණුව වංචා සහගත ලෙස නිදහස් කොට රුපියල් කෝටි 250ක පමණ මූල්‍ය වංචාවක් සිදුකිරීම පිළිබඳ රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) ද කරුණු විමසා තිබුණි. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාළව නිලධාරීන්ගේ සේවය අත්හිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් හිටපු විදේශ රැකියා අමාත්‍යවරයාට චෝදනා එල්ල කරමින් සමාජ මාධ්‍ය කරුණු හෙළිදරව්වක්ද කර තිබුණි.

2022 සිට 2024 අගොස්තු මාසය දක්වා කාන්තාවන් 35,000කට ආසන්න පිරිසක් ඒ අකාරයෙන් රැකියා පුහුණුව නොමැතිව විදේගගත කර ඇති බව සඳහන්ය. එහි දී එක කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතලිස් දහස දක්වා වනසේ මෙම මුල්‍ය වංචාව සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

මීට පෙර විදේශ රැකියා සඳහා පිටත්ව නොගිය කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් පළපුරුද්ද ඇති අය බවට සහතික කරන ලද කූට ලේඛන සකස්කරමින් මෙම දැවැන්ත මූල්‍ය වංචාව සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ද විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නිසි පුහුණුවක් නොමැතිව මේ ආකාරයට විදේශගත වූ කාන්තාවන්ට කරදරවලට මුහුණ පෑමට සිදුවී ඇතැයි ද එම ගෘහ සේවිකාවන් විදේශ රටවලදී විවිධ හිංසාවන්ට සහ අඩත්තේට්ටම්වලට ලක්වී ඇති බව ද විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම මූල්‍ය වංචාව සහ අක්‍රමිකතාව පිළිබඳ සියලු තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT