මියන්මාරයේ, මයාවාඩිහි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනකුට අද (06) දිනයේ දී නිදහස හිමිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතාගේ උපදෙස් අනුව මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයකු ඔවුන් භාර ගැනීමට මීසොට් බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශ තොරතුරු සඳහන් කළේය.
එම ශ්‍රී ලාංකිකයන් මේ වනවිට එරට ආගමන හා විගමන නිලධාරීන්ගේ භාරයේ සිටින බවද විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එම ශ්‍රී ලාංකිකයන් පිරිස යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ දේශීය ප්‍රවාහන පහසුකම් අන්තර්ජාතික සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ තායිලන්ත කාර්යාලය විසින් සපයා තිබෙන අතර තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය, TAK පළාත් ආණ්ඩුකාරවරයා සහ ආගමන විගමන නිලධාරීන් විසින් එම කටයුතු සම්බන්ධීකරණය කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාරයේ හා තායිලන්ත රජයේ සහාය ඇතිව, මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් බේරා ගැනීමට පියවර ගෙන ඇත.
ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සහ ආරක්ෂිතව නැවත මෙරටට ගෙන්වා ගැනීමට මියන්මාර සහ තායිලන්ත රජයන් ලබාදුන් සහාය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය කෘතඥතාව පළ කරන අතර මෙම ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර ගුවන් ගමන් සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සහ මියන්මාරයේ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන විසින් සපයනු ලබන සුභසාධන ආධාර වෙනුවෙන් ද කෘතඥතාව පළ කරයි.
මියන්මාර සහ තායි බලධාරීන්ගේ අඛණ්ඩ සහයෝගය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සහයෝගයෙන්, තවදුරටත් ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම සුරක්ෂිත කිරීමට අමාත්‍යාංශය කැපවී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. විදේශ රැකියා සොයන විට මිනිස් ජාවාරම් යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටින ලෙස ද විදේශ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මහින්ද අලුත්ගෙදර