Home » පියාගේ ඉල්ලීමට පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා පොලිස් කුඩුවේදී මියගිහින්

පියාගේ ඉල්ලීමට පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා පොලිස් කුඩුවේදී මියගිහින්

- කොස්ගොඩ පොලීසියෙන් පහර දුන්නා දැයි සැකයක්

by sachintha
May 6, 2025 2:02 am 0 comment

“මමයි තාත්තයි පොලීසියට ගියාම මල්ලී කූඩුවේ බිම නිදාගෙන කකුල් සොලවමින් මොනවද කිව්වත් වචන පැහැදිලි නැති නිසා තේරුණේ නැතැයි” කොස්ගොඩ පොලීසියේ පහර දීමකින් මිය ගිය බව කියන අයකුගේ සොහොයුරිය වන වීරවර්ධන හේෂාණි ද සොයිසා සිරිවර්ධන මහත්මිය කඳුළු සලමින් පවසා සිටියේය.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ හතරමංහන්දියේ පදිංචි 28 හැවිරිදි වීරවර්ධන තරිඳු මධුෂාන් ද සොයිසා සිරිවර්ධන නැමති අවිවාහක තරුණයෙකි.

මියගිය අයගේ මව ඒ වනවිටත් කම්පනයට පත් වී සිට ඇත.

තව දුරටත් විස්තර හෙළි කළ ඇය මෙසේ ද පවසා සිටියේය.

“මල්ලි රක්ෂාවක් කළේ නැහැ. ගෙදර පවත්වා ගෙන යන කඩේට සහය වෙමින් හිටියේ. කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියේ. දවසෙම කාමරේට වී දොර වසා ගෙන ඉන්නේ. තාත්තා දොරේ අගුලුත් ගලවා දැම්මා. මේ නිසා දොරට පුටුවක් තියාගෙන කාමරයට වී ඉන්නේ. මොනව කරනවද කියල දන්නේ නැහැ. මේ නිසා නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහත්තයගෙන් දිවුරුම් ප්‍රකාශයකුත් අරගෙන පසුගිය පළමු වැනිදා උදේ වීරවර්ධන නිමල් ද සොයිසා සිරිවර්ධන වන තාත්තා කොස්ගොඩ පොලීසියට ගිහින් මොහු පුනරුත්ථාපනය කර දෙන්න කියල පැමිණිල්ලක් කළා.

ඒ පැමිණිල්ල අනුව එදා උදේ නවය හමාරට පමණ සිවිල් පිට පොලීසියේ දෙදෙනෙක් ඇවිත් අම්මට කිව්වා අපි ආවේ පුතා අරගෙන යන්න කියල. ඒ දෙන්නා මල්ලි සිටි කාමරයට ගිහින් ඇඳේ සිටි මල්ලි අරගෙන යන්න හදන විට ‘අනේ ඇයි මාව අරගෙන යන්නේ. මං අතේ මුකුත් නැහැ. ඒ නිසා මට එන්න බැහැ කියල බය වෙලා කෑ ගැසුවා. එවිට ඒ දෙන්නා මල්ලිට පැය භාගයක් විතර හොඳටම ගැහුවා. මල්ලිට ගහන හැටි බලාගෙන ඉන්න බැරි නිසා පොඩ්ඩක් පැත්තකට වුණා. අම්මා එතැනට ගියාම අම්මට කුණු හරුප කියා බැණල එළව ගත්තා.

ඒ එක්කම පොලීසියට ගිය තාත්තා ආවා. ‘බුදු සර්… පුතාට ගහන්න එපා. එයාගෙ අතකුත් පනිනවා කියල කිව්වා. පුතාට ගහන්න නොවෙයි මම කිව්වේ පුනරුත්ථාපනයට දමන්න කියලයි. අලිත් මෙල්ල කරනවනම් ඇයි මෙයාට නොගහ අරගෙන යන්න බැරි කියල තාත්තා ඇසුවා. අතට මාංචු දමල එළියට අරගෙන ආ විටත් මට යන්න බැහැ කියල ඉදිරිපස වටේ එල්ලුණා. පසුව ජීප් එක ඇවිත් මල්ලි අරගෙන ගියා.

මල්ලි එසේ අරගෙන ගියාට පස්සේ ඒ පොලිස් නිලධාරි දෙන්න නැවත ඇවිත් කාමරය මුකුත් නොකර ඒ විදියටම තියන්න කිව්වා. මල්ලිත් එක්ක පොර බදපු නිසා ෆෝන් එක බිම වැටිල ඩිස්ප්ලේ එක ගිහින් කියල ඒක දමා ගන්න කියල රුපියල් හත් දහසකුත් ඉල්ලගෙන ගියා.

අම්මා දවාලට බත් අරගෙන ගියාම ‘අම්මෙ මට පොලීසියෙන් ගහනවා. මට අමාරුයි මාව ඉස්පිරිතාලෙට අරගෙන යන්න කිව්වා. පොලීසියෙන් ගහන්නෙ ඇයි කියල ඇසුවම ගහන්නේ නැහැ කියල කිව්වා.

දෙවැනිදා උදේ හතට විතර කොල් එකක් ආවා මල්ලි කෝල් එකක් අරගෙන දෙන්න කිව්වා කියල. ‘අම්මේ මට අමාරුයි. ෆිට් එක වගෙයි. ඉස්පිරිතාලෙට අරගෙන යන්න කිව්වා. ඒ සමඟම උඹට ෆිට් එක නොවෙයි සික් එක කියල කෝල් එක කට් කළා. ඉන් පස්සේ අම්මයි තාත්තයි පොලීසියට කෑමත් අරගෙන ගිය විට කෑම එක ගන්නවත් මල්ලිට පණ තිබුණේ නැහැ. අත රිදෙනවා බාම් ටිකක් ගාන්න කිව්වම අම්මා පොලීසිය ඉදිරිපිට කඩේට ගිහින් සිද්ධාලේප එකක් අරගෙන ඇවිත් අතේ ගෑවා.

පසුව මල්ලිගෙ යාළුවෝ ටික බලන්න ගියාම එළවගෙන තිබුණා. මමයි තාත්තයි යන විට කූඩුවේ බිම කකුල් දෙක සොලවමින් වැටී සිටියා. මොනවද කිව්වත් වචන පැහැදිලි නැති නිසා අපට තේරුණේ නැහැ. අපි එතැන ඉඳන් කෑ ගසන විට පොලීසියෙන් අපට කිව්වා කෑ ගහන්න එපා. ඔහොම නිදා ගන්න දෙන්න කියල.

දෙවන වතාවෙත් ගිහින් බලද්දී කකුලවත් හෙල්ලුවේ නැහැ. ඒ වෙලාවේ පොලීසියේ සියලු දෙනාම දුවගෙන ආවා. දවල් එකොළහට විතර තමයි ඉස්පිරිතාලෙට අරගෙන ගියේ. ඒ යන විටත් මිය ගිහිල්ලා තිබුණේ යැයි ද ඇය පවසා සිටියේය.”

මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඇය ඉල්ලා සිටියාය.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ කොස්ගොඩ පොලීසියේ පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතාගෙන් විමසූ විට පවසා සිටියේ මේ පිළිබඳව මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් සියලු විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ලබා දී ඇති බවයි.

අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT