රාජ්‍ය නොවන සංවිධානයක මුදල් පොම්ප කරවා ගනිමින් පූසන් හා බල්ලන් වැනි සතුන් ඇති කරන මුවාවෙන් වතුගෙදර ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වාගෙන යන සත්ත්ව මධ්‍යස්ථානයක් නිසා ප්‍රදේශයේ ජනතාවට විශාල ගැටලු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත් එය ඉවත් කර දෙන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ දැවැන්ත උද්ඝෝෂණයක් තුඩුවේගොඩ වතුගෙදර ප්‍රදේශවාසීන් විසින් පෙරේදා (04) වතුගෙදර විහාරස්ථානය ඉදිරිපිට දී පවත්වන ලදි.
මේ සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටි අතර බෙදා ගත් බත්පත කන්න බෑ. ගම පුරා ගඳ ගහනවා. විෂබීජ ආකරයක්. ඉක්මනින් මෙය ඉවත් කර දෙන්න. බලධාරීන් නිහඬයි. වැනි බැනර් ප්‍රදර්ශනය කරමින් මෙය ඉවත් කර දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් සිදු කළේය.
මෙහිදී අදහස් දැක්වූ තුඩුවේගොඩ වතු ගෙදර ඩබ්. එම්. එස්. ජනප්‍රිය,
“මේක ඇත්තෙන්ම බලු මධ්‍යස්ථානයක්. මෙය සත්තුන්ට ආදරයට කරන දෙයක් නෙවෙයි. එන්.ජී.ඕ. සල්ලි කෝටි ගණන් ගෙන්වා ගන්න කරන වැඩක්. හැමදාම වගේ කූරියර් ස්ර්විස්වලින් අවශ්‍ය දේවල් එවනවා. අපේ ගමම ගඳ ගහනවා. ජරාව පිරිලා. ජරාවතුර පාරෙ කානුවට දානවා. හවස වන විට පාරේ යන්න බෑ. විෂබීජ ගොඩක්. ළමයින්ට බෙදා ගත් බත් පිඟානට දාගෙන කන්න නෑ. මේක මෙතනින් ඉවත් කර ජන ශූන්‍ය ප්‍රදේශයට ගත්තා නම් අපිට ගැටලුවක් නෑ.”
තුඩුවේගොඩ වතුගෙදර නලීන් සමරසිංහ,
“ඇත්තෙන්ම මුළු ගමම මේකට විරුද්ධයි. නහයක් තියාගෙන නම් ගෙවල්වල ඉන්න බෑ. අපි බලධාරීන් කාටත් මේ ගැන පැමිණිලි කළා. ඒත් වැඩක් වුණේ නෑ. මේක විශාල පරිසර ගැටලුවක්. අපිත් සත්තුන්ට ආදරෙයි. ඒක වෙනම කතාවක්. ඒත් මෙතන යන්නෙ විශාල ප්‍රමාණයේ මුදල් ගනුදෙනුවක්. මෙතන බල්ලො දහයක් විතරයි පූසො පනහක් විතරයි ඉන්නේ.”
මේ සම්බන්ධයෙන් විස්තර දැනගැනීම සඳහා තුඩුවේගොඩ වතුගෙදර පිහිටි එම මධ්‍යස්ථානයට ගොස් මාධ්‍යවේදීන් බව පැවසූ විට එහි සිටි කාන්තාවක් දොරවල් වසා ගෙතුළට ගිය අතර ආපසු නොපැමිණි බැවින් අපි විනාඩි දහයක් පමණ රැඳී සිට ආපසු පැමිණියෙමු.
ගාල්ල දිස්ත්‍රික් සංචාරක
ධර්මදාස සිරිවර්ධන