Home » පාසල් ව්‍යවසායකත්ව කව භාර ගුරුවරුන්ට පුහුණුවක්

පාසල් ව්‍යවසායකත්ව කව භාර ගුරුවරුන්ට පුහුණුවක්

by sachintha
May 6, 2025 1:27 am 0 comment

පාසල් ව්‍යවසායකත්ව කව භාරව කටයුතු කරන පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 120ක ගුරුවරුන් 120 දෙනෙක් පුහුණුව ලබති. පුහුණුවෙන් පසුව තම පාසල් තුළ ව්‍යවසායකත්ව කව පිහිටුවිය යුතුය. ඒ සඳහා 9 සිට 13 ශ්‍රේණි දක්වා දරුවන් යොදා ගත හැකිය. මෙහි අරමුණ වන්නේ දරුවන් කර්මාන්ත හා ව්‍යවසායකත්වය සඳහා සවිබල ගැන්වීමයි. එනම්, අධ්‍යාපනයෙන් පසුව රැකියා අපේක්ෂක දරුවකු වෙනුවට රැකියා බිහි කරන ව්‍යවසායකයකු පාසල තුළින් බිහි කිරීමයි. මේ යටතේ අනුරාධපුරයෙන් ව්‍යවසායකත්වයට යොමු වන දරුවන් 500ක් බිහි කිරීම අරමුණ වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙය සංවිධාන කර තිබෙන අතර, අනුරාධපුර වැඩසටහන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව පවත්වා ගෙන යයි. මෙයින් ජාතික නිෂ්පාදනයට ක්‍රියාශීලි හා ඵලදායී ලෙස දායක විය හැකි ව්‍යවසායකත්වය පෙරදැරි කරගත් සිසු පරපුරක් සමාජගත කිරීමට පාසලෙන් යොමු කිරීම සිදු වේ. එමඟින් කර්මාන්ත බිහි කිරීමට හා නව උත්පාදන සඳහා අවශ්‍යවන්නා වූ ව්‍යවසායකත්ව සංස්කෘතියක් හා මානසිකත්වයක් රට තුළ ගොඩනැඟේ යැයි විශ්වාස කෙරේ.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න, එහි අධ්‍යක්ෂ රේණුකා ජයලත් ඇතුළු නිලධාරීන්, ස්වර්ණපාලි බාලිකා විදුහලේ විදුහල්පති අයන්ති රත්නායක ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ගුරුවරු පිරිසක් එක්ව සිටියහ.

අනුරාධපුර අතිරේක

අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT