පාරම්පරික මැටි ආශ්‍රිත කර්මාන්තයේ නියැළී සිටින, වර්තමානය වනවිට අසරණ තත්ත්වයට පත්ව සිටින කර්මාන්තකරුවා රැකගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර දෙන්නැයි තමන් අදාළ අංශ වෙතින් ඉල්ලා සිටින බව එම කර්මාන්තයෙන් දිවි ගෙවන කර්මාන්තකරුවෝ පවසති.
අනාදිමත් කාලයක සිට ගැමි ගෙදර හා මැටි වළං නිෂ්පාදකයා අතර තිබුණේ මනා සම්බන්ධතාවයකි. සෑම නිවෙසකම කුස්සියේ දැකගත හැකිවූයේ මැටි මුට්ටිය, මැටි වළඳ, මැටි කොරහ, මැටි නෑබිලිය, මැටි කෝප්පය, මැටි රොටි තැටිය, මැටි කළය පමණක් නොව, මේසයේ, සාලයේ තිබූ මල් බඳුන සැරසුණේ ද මැටි ආශ්‍රිත නිෂ්පාදනවලිනි. එපමණක් නොව, නව අවුරුද්දේ උදාවන සුබ නැකතට කිරිබත පිසින්නේ ද මැටි මුට්ටියේය. කෙසේ වෙතත් ග්‍රාමීය ගෘහය ද නාගරික වීමත් සමඟම මැටි ආශ්‍රිත නිෂ්පාදන එම කුස්සියෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වීමට පටන්ගත් අතර, වර්තමානයේ ගමේ නිවහනේ ද දැකගන්නට ඇත්තේ ලිග්ගල් තුනේ ළිප වෙනුවට මේසයක් මත තැබූ ගෑස් ළිපක් හෝ විදුලියෙන් ආහාර පිසින බඳුනකි. එම ළිපට ඔබින ඇලුමිනියම් හට්ටි මුට්ටි ද තිබේ. මැටි වළං නිෂ්පාදකයා මෙසේ ගැමියාගෙන් ඉවත් වූ තවත් නිෂ්පාදකයෙක් බවට පත්වීම හේතුවෙන් තමන්ට අද අනුනට අතපාන තත්ත්වයට පත්වන්නට සිදුව ඇති බව එම නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
මෙම කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් මෙයට වසර කිහිපයකට ඉහතදී එවකට පැවති කර්මාන්ත අමාත්‍යාංශය විසින් ‘ගුරු පැහැයෙන් රන් පැහැයට’ යන තේමාව යටතේ මැටි ආශ්‍රිත කර්මාන්ත තිබෙන ප්‍රදේශවල සිටින පුද්ගලයන්ගේ පහසුව සඳහා අදාළ ගොඩනැඟිලි සහ නවීන උපකරණ ඇතුළු වෙනත් පහසුකම් ලබා දී තිබිණි. එම පහසුකම් ලබා දුන්නත් පසු විපරමක් හෝ එම නිෂ්පාදන අලෙවි කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වූ හෙයින් එම අරමුණු කරා යන්නට නිෂ්පාදකයාට හෝ අදාළ දෙපාර්තමේන්තුවට නොහැකි විය. මේ වනවිට ගම්මානවලට ලබා දුන් ඇතැම් උපකරණ භාවිතයට නොගෙන ඉවත දමා ඇති අතර, ගොඩනැඟිලි ගමේ ඇති තවත් ගොඩනැඟිල්ලක් පමණක් බවට පත්ව තිබෙන බව ගම්වාසීහු පවසති. ඔවුන් පවසන්නේ, අතීතයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවක ක්‍රියාත්මකව තිබූ මැටි කර්මාන්තය මේ වන විට ගම්මාන තුනක ග‍්‍රාමීය පවුල් පහක පුද්ගලයන් දහ දෙනකුට පමණක් සීමා වී තිබීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි. මේ අනුව හසලක, ඇල්දම්පෝරුව ගම්මානයේ පවුල් දෙකක පුද්ගලයන් හතර දෙනෙක් හා උල්පතගම, අඹගොල්ල ගම්මානයේ පවුල් දෙකක පුද්ගලයන් හතර දෙනෙකුත් කොළොංගොඩ, දැහැමිගම ගම්මානයේ එක් පවුලක දෙදෙනකුත් පමණක් මෙම කර්මාන්තයේ නියැළී සිටින බව දැනගන්නට ලැබේ.
තම නිෂ්පාදනයන්ට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩබ්ලිව්.ජී. ජයරත්න මහතා මෙසේ පැවසීය.
“මේ කර්මාන්තය දැන් ගම්වලින් තුරන්වේගෙන යන කර්මාන්තයක්. මෙය නඟාසිටුවන්න රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි. මොකද එදා වගේ සකපෝරුව අතින් කරකවා කරකවා ඉන්න අවශ්‍ය නැහැ. විදුලි බලයෙන් ක්‍රියා කරන මැෂින් තියෙනවා. නමුත් අපට ඒවා ගන්න වත්කමක් නැහැ. අපි හොයන මුදල ඉතා කුඩායි. එම මුදල අපේ පවුලේ වියදමටවත් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තමයි මේ නිෂ්පාදන අලෙවි කරගන්න හසලක නගරයේ යම් ස්ථානයක් අපට වෙන්කරවා දෙනවා නම් එම නිෂ්පාදන පාරිභෝගිකයාට පහසුවෙන් අපට අලෙවි කරන්න පුළුවන්. අද මේ කර්මාන්තයේ නියැළී ඉන්නේ මුළු කොට්ඨාසයේම දහ දෙනෙක් වගේ කුඩා සංඛ්‍යාවක් පමණයි. තරුණ පිරිස මෙයින් ඉවත්වීම කනගාටුදායකයි. එයට විශේෂ හේතුව වන්නේ මෙම කර්මාන්තයෙන් ලැබෙන ආදායම දරු පවුලක් නඩත්තු කරන්න තියා තමන්ට තනිවම ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් නැතිවීමයි. ඒ වගේම තමයි අපේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය, ඒ කියන්නේ මැටි ලබා ගැනීමට තිබෙන අපහසුතාව ගැනත් සිහිපත් කරන්න වෙනවා. අපි මැටි ගන්නේ ගෙවල් ළඟ තිබෙන කුඩා වැවකින්. එම වැවේ ජලය පිරුණු විට ඒකත් කර ගන්න අපහසුයි. මේ ගැනත් අපට සහනයක් නම් අවශ්‍යයි. වර්තමානයේ පාරිභෝගිකයා ඉල්ලන විවිධ භාණ්ඩ සැකසීමට අවශ්‍ය අච්චු සහ මැටි අඹරන යන්ත්‍ර ඇතුළු නවීන උපකරණ අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපට අවශ්‍ය පුහුණුවක් ලබා දීලා එම උපකරණ ලබා දීමට පියවර ගන්නවා නම් එය අපට සහනයක්. ඒ වගේම තමයි මේ කර්මාන්තයෙන් ඉවත්ව ගොස් සිටින තරුණයා නැවත මෙම කර්මාන්තයේ රැඳවා තබා ගැනීමට යම් ක්‍රමවේදයක් රජය සම්බන්ධ වෙලා කරනවා නම් එය වඩාත් යහපත්.”
හසලක සමූහ – ඊ.එම්.එස්. ඒකනායක