පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටියේ සිට වැලිකන්ද කඩවත්මඩුව දක්වා පවතින අනාරක්ෂිත දුම්රිය ගේට්ටු හේතුවෙන් තමන් දැඩි අනාරක්ෂිතභාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු මෙන්ම රථවාහන රියැදුරෝ ද සඳහන් කරති.
මනම්පිටිය, වැලිකන්ද, කඩවත්මඩුව දක්වා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු හැටකට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර, එම ස්ථානවල කම්කරුවන් ලෙස සේවය කරන්නේ කිහිප දෙනකු බවටත් ඇතැම් සේවකයන් අනාරක්ෂිත ගේට්ටු අසල රැඳී නොසිටින බවටත් ඔවුහු චෝදනා කරති. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු වැසීම සඳහා රජය මඟින් මුරකරුවන් තිදෙනකු යොදවා ඔවුන් තිදෙනාට මාසිකව රුපියල් විසිදෙදහස් පන්සියයක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ගෙවනු ලැබුවද ඇතැම් මුරකරුවන් එම මුදල ලබාගෙන අනාරක්ෂිත දුම්රිය ගේට්ටු අසල රැඳී නොසිටින බවයි. මනම්පිටිය, මඩකලපු හන්දිය පොලිස් ස්ථාන ඉදිරිපිට, මනම්පිටිය, මාගන්තොට ගම්මානයට ඇතුළු වන අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව ආසන්නයේ කිසිදු මුරකරුවකු නොසිටීම හේතුවෙන් එම ගම්මානයේ පවුල් 150ක පුද්ගලයන් පැය විසිහතර පුරා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවත් එම ස්ථානයේ කිසිදු මුරකරුවකු නොසිටීම හේතුවෙන් ඇතැම් අවස්ථාවන්හි දුම්රිය ගේට්ටුව අසලටම පැමිණෙන තෙක් නොපෙනෙන බවත් ගම්වාසීහු පෙන්වා දෙති.
අප මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව දුම්රිය ස්ථානයෙන් දුරකථනයෙන් කළ විමසීමේදී එහි නිලධාරියකු සඳහන් කළේ, රජය මඟින් මුරකරුවන් තිදෙනකු එක් අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවක් මුර කිරීම සඳහා යොදවා ඇති බවත්, ඔවුන්ගේ වගකීම් පැහැර හැරීම තමන්ට භාරගත නොහැකි බවත්ය. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතුයි කරන බවද ඔහු කියා සිටියේය.
සිරිපුර – මදුශානි අබේසිංහ